අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
1. පඨම පණ්ණාසකය
5. අක්කොසක වර්ගය
7. මහාලිපාපකිරිය සූත්‍රය
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරණ සේක. ඉක්බිති මහාලීලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි මහාලීලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, පව්කම් කිරීමෙහි, පව්කම් පැවැත්මෙහි, හේතු කවරේද, ප්‍රත්‍යය කවරේදැ’’ යි ඇසීය.
’’මහාලිය, පව්කම් කිරීමෙහි, පව්කම් පැවැත්මෙහි, ලොභය හේතුවය, ලොභය ප්‍රත්‍යය. මහාලිය, පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි ද්වේෂය හේතුවය, ද්වේෂය ප්‍රත්‍යය. පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි මොහය හේතුවය, මොහය ප්‍රත්‍යය. මහාළිය, පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි නුනුවණින් මෙනෙහි කිරීම හේතුවය, නුනුවණින් මෙනෙහි කිරීම ප්‍රත්‍යයය. මහාළිය, පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි වරදවා පිහිටවූ සිත හේතුවය, වරදවා පිහිටවූ සිත ප්‍රත්‍යයය. මහාළිය, පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි මේ හේතුවය, මේ ප්‍රත්‍යය යයි වදාළ සේක.
’’ස්වාමීනි, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද?’’
’’මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි, අලොභය හේතුව වෙයි, අලොභය ප්‍රත්‍යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි අෙවෂය හේතුව වෙයි, අෙවෂය ප්‍රත්‍යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි අමොහය හේතුව වෙයි, අමොහය ප්‍රත්‍යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි නුවණින් මෙනෙහි කිරීම හේතුව වෙයි, නුවණින් මෙනෙහි කිරීම ප්‍රත්‍යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි මනාකොට තබන ලද සිත හේතුව වෙයි, මනාකොට තබන ලද සිත ප්‍රත්‍යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි, මහාලිය, මේ හේතුවය, මේ ප්‍රත්‍යයයි වදාළ සේක.
’’මහාලිය, මේ ධර්ම දසය ලොකයෙහි විද්‍යමාන නොවන්නාහු නම්, අධර්මයෙහි හැසිරීමය, විෂම හැසිරීමය, ධර්මයෙහි හැසිරීමය, සමව හැසිරීමය යයි කියා මෙය නොවේ. මහාලිය, යම් හෙයකින් මේ ධර්ම දහය ලෝකයෙහි විද්‍යමාන වෙත්ද, එහෙයින් අධර්මචර්ය්යාවය, විෂම චර්ය්යාවය, ධර්ම චර්ය්යාවය, සමර්ච්යාවයයි කියා ඇත්තේ වේ.’’