අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(7) 2. යමක වර්‍ගය

5. සාමණ්ඩකානී සූත්‍රය

එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ රට නාලක ගමෙහි වාසය කරණ සේක. ඉක්බිති සාමණ්ඩකානී පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වීය. සතුටු වියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.

එකත්පසෙක සිටි සාමණ්ඩකානී පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, ’’ඇවැත්නි, ශාරීපුත්‍රය, සැප දුක කිමෙක්දැ’’ යි ඇසීය. ’’ඇවැත්නි, ඉපදීම දුකය, නොඋපදීම සැපය. ඇවැත්නි, ඉපදීම ඇති කල්හි සීත, උෂ්ණ, කනු කැමැත්ත, පිපාසය, මළමූත්‍ර පහකිරීම, ගිනිදෑම, දඬු වැදීම, ආයුධ වැදීම, යන මේ දුක් කැමති විය යුතුය. නෑයෝද, මිත්‍රයෝද, ඔහු කරා පැමිණ එක්වී දුක්යයි හඬත්. ඇවැත්නි, ඉපදීම ඇති කල්හි මේ දුක පැමිණේ. ඇවැත්නි, නොඉපදීම ඇති කල්හි, මේ සැපය බලාපොරොත්තු විය යුතුය. සීතයක් නැත. උෂ්ණයක් නැත. බඩගින්නක් නැත. පිපාසාවක් නැත. මළමූත්‍ර පහකිරීමක් නැත. ගිනිදෑමක් නැත. දඬු වැදීමක් නැත. ආයුධ වැදීමක් නැත. මේ සැප කැමති විය යුතුයි. නෑයෝද, මිත්‍රයෝද ඔහු වෙත පැමිණ එක්වී කණගාටු නොවෙත්. ඇවැත්නි, නොඉපදීම ඇති කල්හි මේ සැපය බලාපොරොත්තු විය යුතුයි.’’