අඞ්ගුත්තරනිකායො
එකාදසක නිපාතය
4. රාගාදි පෙයියාලය
502–671.
’’මහණෙනි, රාගයාගේ වෙසෙසා දැනීම පිණිස එකොළොස් ධර්ම කෙනෙක් වැඩිය යුත්තාහු වෙත්.
’’කවර එකොළොසක්ද යත්? ප්‍රථම ධ්‍යානය, වීතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ත්‍ථ ධ්‍යානය, මෛත්‍රී චිත්ත විමුක්තිය, කරුණා චිත්ත විමුක්තිය, මුදිතා චිත්ත විමුක්තිය, උපෙක්‍ෂා චිත්ත විමුක්තිය, ආකාශානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, යන එකොළොසයි. මහණෙනි, රාගයාගේ වෙසෙසා දැනීම පිණිස මේ එකොළොස් ධර්මයෝ වැඩිය යුත්තාහුය.
මහණෙනි, රාගයාගේ පිරිසිඳ දැනීම පිණිස, හාත්පසින් ක්‍ෂය කිරීම පිණිස, දුරු කිරීම පිණිස, ක්‍ෂය කිරීම පිණිස, විනාශය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, හැර දැමීම පිණිස, දුරලීම පිණිස, මේ එකොළොස් ධර්මයෝ වැඩිය යුත්තාහුයයි වදාළේය.
ද්වේෂයාගේද, මොහයාගේද, ක්‍රොධයාගේද, බද්ධ වෛරයාගේද, ගුණමකු භාවයාගේද, උතුමන් තමා හා සමකිරීමේද, ඊෂ්‍යාවගේද, මසුරුකමේද, මායාවගේද, කෛරාටිකකමේද, තදගතියේද, එකට එක කිරීමේද, මානයාගේද, අධික මානයාගේද, මදයාගේද, ප්‍රමාදයාගේද, වෙසෙසා දැනීම, පිරිසිඳ දැනීම පිණිස, හාත්පසින් ක්‍ෂයකිරීම පිණිස, ප්‍රහාණය පිණිස, ක්‍ෂය කිරීම පිණිස, විනාශය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, හැර දැමීම පිණිස, දුරලීම පිණිස, මේ එකොළොස් ධර්මයෝ වැඩිය යුත්තාහුයයි වදාළේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ඒ භාෂිතය සතුටින් පිළිගත්තාහුය.’’
රාගපෙය්‍යාලං නිට්ඨිතං.
එකොළොස්වන නිපාතය නිමි.
සූත්‍ර නව දහසක්ද අධිකවූ පන්සියයක්ද, සත් පණසක්ද,
සූත්‍රාන්තයෝ අඞ්ගුත්තර නිකායෙහි යුක්තවූවාහුය
අඞ්ගුත්තරනිකායො සමත්තො.