අංගුත්තර නිකාය
එක නිපාතය
3. පුග්ගල වර්ගය
27. ජිගුච්ඡිතබ්බ සූත්‍රය
“මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත් කවර තුන්දෙනෙක්ද යත්. “මහණෙනි පිළිකුල් කටයුතුවූ සෙවනය නොකළ යුතුවූ භජනය නොකළ යුතුවූ ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, මැදහත් විය යුතුවූ සෙවනය නොකළ යුතුවූ භජනය නොකළ යුතුවූ ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, සෙවනය කළ යුතුවූ භජනය කළ යුතුවූ ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය.
“මහණෙනි, පිළිකුල් කටයුතුවූ සෙවනය නොකළ යුතුවූ ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීලවූයේ, ලාමක ස්වභාව ඇත්තේ, අපිරිසිදු වූයේ සැකයෙන් සිහි කළ යුතු පැවතුම් ඇත්තේ, වැසුනු පව්කම් ඇත්තේ, අශ්‍රමණ වූයේ ශ්‍රමණයෙකැයි කියා සිටින්නේ, බ්‍රහ්මචාරී නොවූයේ ‘බ්‍රහ්මචාරීයෙමියි’ කියා සිටින්නේ, ඇතුලත කුණුවූයේ, අපිරිසිදු වූයේ, හටගත් කෙලෙස් කසල ඇත්තේවේද, මහණෙනි, මෙබඳු පුද්ගලතෙම පිළිකුල් කටයුතුය. සෙවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය.
“ඊට හේතු කවරේද? කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ අදහස් අනුව යාමට නොපැමිණියත් පුරුෂ පුද්ගල තෙම පවිටු මිතුරන් ඇත්තෙකි. පවිටු යහළුවන් ඇත්තෙකි, පවිටන් කෙරෙහි නැමෙන්නෙකියි අයහපත්වූ අගුණ කථා ශබ්දයක් පැනනගී. මහණෙනි, යම්සේ වනාහි සර්පයෙක් අශුචියකට පැමිණියේ කිසිසේත් දෂ්ටනොකෙරේද, නැවත ඔහු ඇඟ තවරාද, මහණෙනි එපරිද්දෙන්ම වනාහි කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ අදහස් අනුව නොගියේද, වැලිදු පුරුෂ පුද්ගලතෙම පවිටු මිතුරන් ඇත්තෙකි. පවිටු යහළුවන් ඇත්තෙකි. පවිටන් කෙරෙහි නැමෙන්නෙකියි, අයහපත්වූ අගුණ කථා ශබ්දයක් පැනනගී. එසේ හෙයින් මෙබඳු පුද්ගලතෙම පිළිකුල් කටයුතුය, සෙවනය නොකටයුතුය, ආශ්‍රය නොකටයුතුය.
“මහණෙනි, මධ්‍යස්ථවිය යුතුවූ සෙවනය නොකළ යුතුවූ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ ක්‍රොධ කරණ ස්වභාව ඇත්තේවේද, ස්වල්පයක් නමුත් කියනලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කොපයද ද්වෙෂයද නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, යම්සේ පුරාණ වණයක් දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ස්පර්ශකරණ ලද්දේ බොහෝ සෙයින්ම ලේ සැරව වගුරුවාද, මහණෙනි, එසේම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ ක්‍රොධකරණ ස්වභාව ඇත්තේවේද, ස්වල්පයක් නමුත් කියනලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද තදබවට පැමිණේද, කොපයද ද්වෙෂයද නොසතුටු ආකාරයද, පහළකෙරේද, මහණෙනි යම්සේ තිඹිරි පෙනෙල්ලක් දඬුකඩකින් හෝ කැබලිත්තකින් හෝ ගටනලද්දේ බොහෝසෙයින්ම චිට්චීට් යන අනුකරණ ශබ්ද පවත්වාද, චිටි චිටි යන අනුකරණ ශබ්ද පවත්වාද මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ ක්‍රොධකරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියනලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තදබවට පැමිණේද, කොපයද, ද්වෙෂයද නොසතුටු ආකාරයද, පහළකෙරේද, මහණෙනි, යම්සේ අශුචි වලක් දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ගටනාලද්දේ බොහෝ සෙයින්ම දුගඳ වේද? මහණෙනි, එසේම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ ක්‍රොධකරණ ස්වභාව ඇත්තේවේද ස්වල්පයක් කියන ලද්දේද, එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කොපයද, ද්වෙෂයද, නොසතුටු ආකාරයද, පහළකෙරේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම මධ්‍යස්ථ කළ යුතුය භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය.
“ඊට හේතු කවරේද? ‘මට ආක්‍රොශ කරන්නේ යයිද මට පිරිහෙළා බනින්නේ යයිද, මට අනර්ථයක් කරන්නේයයිද’ කියායි. එසේ හෙයින් මෙබඳු පුද්ගලතෙම මධ්‍යස්ථ කළ යුතුය සෙවනය නොකළ යුතුය, භජනය නොකළ යුතුය, ආශ්‍රය නොකළ යුතුය.
“මහණෙනි, සෙවනය කළයුතු භජනය කළයුතු ආශ්‍රය කළයුතු පුද්ගලයා කවරේද? මහණෙනි මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක්, සිල් ඇත්තේද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි මෙබඳු පුද්ගලතෙම සෙවනය කළ යුතුය, භජනය කළයුතුය, ආශ්‍රය කළයුතුය. ඊට හෙතු කවරේද? මහණෙනි කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ ආදර්ශයට නොපැමිණේද, යලිදු ඔහු කරා යහපත්වූ ගුණ කථාවක් උස්ව නගී. කෙසේද? පුරුෂ තෙම යහපත් මිතුරන් ඇත්තෙක. යහපත් යහළුවන් ඇත්තෙක. යහපතුන් කෙරෙහි නැමීම ඇත්තෙක, කියායි. එසේ හෙයින් මෙබඳු පුද්ගලතෙම සෙවනය කළයුතුය, භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය, මහණෙනි, මේ පුද්ගලතෙම ලොකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්
“තමන්ට වඩා ගුණයෙන් හීනවූ පුද්ගලයන් සෙවනය කරන්නාවූ පුරුෂතෙම පිරිහෙයි. තමන්ට සමාන ගුණ ඇති පුද්ගලයන් සෙවනය කරන්නාවූ පුද්ගලයා නොපිරිහේ. ශ්‍රෙෂ්ට පුද්ගලයන්ගේ ගතිගුණවලට නැමෙන පුද්ගලයා වහා ගුණයෙන් වැඩෙයි. එසේ හෙයින් තමහට වඩා උතුම් කෙනෙකු ආශ්‍රය කරන්නේ යයි” වදාළේය.