අංගුත්තර නිකාය

එක නිපාතය

9. සමණ වර්ගය

91. පංකධා සූත්‍රය

“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට මහත් භික්ෂු සංඝයා හා සමග චාරිකාවෙහි වඩිනුයේ පංකධා නම් කොසොල් රට වාසීන්ගේ නියම්ගම යම් තැනෙක්හිද එහි වැඩියහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පංකධා නම් කොසොල් රට වාසීන්ගේ නියම් ගමෙහි වාසය කරත්. එකල්හි කස්සපගොත්ත නම් මහණ තෙමේ ආවාස අලුත්වැඩියා කිරීමෙහි යෙදී වාසය කරයි.

“එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට දැහැමි කථාවකින් කරුණු ඉදිරිපත් කොට දක්වන සේක. සමාදන් කරවන සේක. උත්සාහවත් කරවන සේක. සිත් පහදවන සේක. එකල්හි කස්සපගොත්ත භික්ෂුවට ශික්ෂාපදයන්ගෙන් යුත් දැහැමි කථාවකින් භික්ෂූන්ට කරුණු දක්වන්නාවූ සමාදන් කරවන්නාවූ උත්සාහවත් කරවන්නාවූ සිත් තියුණු කරවන්නාවූ සිත් පහදවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මේ ශ්‍රමණතෙමේ පමණ ඉකමවා හාර හාරා කරුණු කියන්නේයයි’ නොඉවසීමක් නොසතුටක් උපන.

“ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ කැමතිතාක් පංකධා නියම් ගමෙහි වාසයකොට රජගහනුවර යම් තැනෙක්හිද එහි චාරිකාවෙහි වැඩියහ. පිළිවෙලින් චාරිකාවෙහි වඩිනසේක් රජගහනුවර යම් තැනෙක්හිද එහි පැමිණියහ. පැමිණ, රාජගහේ ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කළසේක.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ‘කස්සපගොත්ත භික්ෂුහුට මෙවැනි සිතක් ඇතිවිය. ශික්ෂාපදයන්ගෙන් යුත් දැහැමි කථාවකින් භික්ෂූන්ට කරුණු දක්වන්නාවූ සමාදන් කරවන්නාවූ උත්සාහවත් කරවන්නාවූ සිත් පහදවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ‘මේ ශ්‍රමණ තෙමේ පමණ ඉක්මවා හාර හාරා කරුණු දක්වන්නේයයි’ මාහට නොඉවසීමක් නොසතුටක් පහළවිය. එය මට අලාභයකි. ඒකාන්තයෙන් එය මට ලාභයක් නොවේ. මා විසින් නපුරුව ලබන ලද්දකි. යහපත් කොට ලබන ලද්දක් නොවේයයි පසුතැවීමක් විපිළිසර බවක් ඇතිවිය ‘මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණෙන්නෙම් නම් පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි වරද වරද වශයෙන් ප්‍රකාශ කරන්නෙම් නම් යහපතැයි’ සිතීය.

“ඉක්බිති කස්සප ගොත්ත භික්ෂුතෙම සෙනසුන තැන්පත්කොට තබා පාත්‍ර සිව්රු ගෙන රජගහනුවර යම් තැනෙක්හිද ගිජ්ඣකූට පර්වතය යම් තැනෙක්හිද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හිඳ ගත්තේය. එක්පසෙක හිඳගත් කස්සපගොත්ත භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, එක් අවස්ථාවෙක භාග්‍යවතුන් වහන්සේ පංකධා නම් කොසොල් රට වාසීන්ගේ නියම්ගමෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපදයන්ගෙන් යුත් දැහැමි කථාවෙන් භික්ෂූන්ට කරුණු දක්වනසේක, සමාදන් කරවන සේක, උත්සාහ කරවන සේක, සිත් පහද වන සේක. ස්වාමීනි, ඒමට භික්ෂූන්ට කරුණු දක්වන්නාවූ සමාදන් කරවන්නාවූ උත්සාහවත් කරවන්නාවූ සිත් පහදවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ‘මේ ශ්‍රමණතෙම පමණ ඉක්මවා හාර හාරා කියන්නේයයි’ නොඉවසීමක් නොසතුටු බවක් පහළවිය.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පංකධා නියම් ගමෙහි කැමතිතාක් වාසය කොට රජගහ නුවර යම්තැනෙක්හිද එහි චාරිකාවෙහි වැඩිසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් මට පසුතැවීමක් විපිළිසර බවක් ඇතිවිය. ශික්ෂාපදයන්ගෙන් යුත් ධර්ම කථාවෙන් භික්ෂූන්ට කරුණු දක්වන්නාවූ සමාදන් කරවන්නාවූ උත්සාහවත් කරවන්නාවූ සිත් පහදවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ‘මේ ශ්‍රමණ තෙමේ පමණ ඉක්මවා හාර හාරා කියන්නේයයි’ නොඉවසීමෙන් නොසතුටු බවක් පහළවිය. එය මට අලාභයකි. ලාභයක් නොවේ. මා විසින් නපුරු ලැබීමක් ලබන ලදී. යහපත් ලැබීමක් නොලබන ලදී” කියායි.

“මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණෙම් නම් පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි වරද වරද වශයෙන් ප්‍රකාශ කරන්නෙම් නම් යහපතැයි’ අදහස්වීයයි කීය.

“ස්වාමීනි, ශික්ෂාපදයන්ගෙන් යුත් ධර්ම කථාවෙන් භික්ෂූන්ට කරුණු දක්වන්නාවූ සමාදන් කරවන්නාවූ උත්සාහවත් කරවන්නාවූ සිත් පහද වන්නාවූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ‘මේ ශ්‍රමණතෙමේ පමණ ඉක්මවා හාර හාරා කියන්නේයයි’ නොඉවසීමෙන් නොසතුට පහළකිරීමෙන් බාලයකු මෙන් මෝඩයකු මෙන් අදක්ෂයකු මෙන් අපරාධය තෙම මා ඉක්මවා ගියේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මත්තෙහි සංවරය පිණිස ඒ මාගේ අපරාධය පිළිගන්නාසේක්වායි” කීය.

“කස්සපය, ශික්ෂාපදයන්ගෙන්යුත් ධර්ම කථාවකින් භික්ෂූන්ට කරුණු දක්වන්නාවූ සමාදන් කරවන්නාවූ උත්සාහවත් කරවන්නාවූ සිත් පහදවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ‘මේ ශ්‍රමණ තෙමේ පමණ ඉක්මවා හාර හාරා කියන්නේයයි’ නොඉවසීමෙන් නොසතුට පහළකිරීමෙන් අපරාධය තෙමේ බාලයකුසේ මෝඩයකුසේ අදක්ෂයකුසේ ඒකාන්තයෙන් තා ඉක්මගියේය.

“කස්සපය, යම්කලෙක පටන් තෝ වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිදි පිළියම් කෙරෙහි නම් අපි තාගේ වරද පිළිගනිමු.

“කස්සපය, යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිදි පිළියම් කෙරේනම් මත්තෙහි සංවරයට පැමිණේ නම් එය ආර්‍ය්‍ය විනයෙහි අභිවෘද්ධිය වෙයි.

“කස්සපය, ස්ථවිරවූ භික්ෂුවක් නමුත් ශික්ෂාකාමී නොවේද, ශික්ෂාපද පිරීමෙහි ගුණ නොකියන්නේ වේද, ශික්ෂාකාමී නොවූ යම් අන්‍ය භික්ෂූහු වෙත්නම් ඔවුන් ශික්ෂා සම්පූර්ණ කිරීමෙහි නොයොදවන්නේ වෙයිද, ශික්ෂාකාමීවූ යම් අන්‍ය භික්ෂූහු වෙත් නම් සුදුසු කාලයෙහි ඔවුන්ගේ ඇති විද්‍යමාන ගුණ ප්‍රකාශ නොකෙරේ නම් කස්සපය, මම එවැනි ස්ථවිර භික්ෂුවගේ ගුණ නොකියමි. ඊට හේතු කවරේද?

‘ශාස්තෲතෙම ඔහුගේ ගුණ කියායයි අන්‍ය භික්ෂූහු ඔහු භජනය කරන්නාහුය. යම් කෙනෙක් ඔහු භජනය කරත් නම් ඔව්හු ඔහුගේ ගති පැවතුම් අනුව යන්නාහුය. ඔවුන්ට එය

බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. කස්සපය, එහෙයින් මම එවැනි ස්ථවිර භික්ෂුවගේ ගුණ නොකියමි.

“කස්සපය, මධ්‍යමවූ භික්ෂුවක්ද නවකවූ භික්ෂුවක්ද ශික්ෂාකාමී නොවේද ශික්ෂාපද පිරීමෙහි ගුණ නොකියන්නේ වේද, යම් ඒ අන්‍ය භික්ෂූහු ශික්ෂාව නොපුරත්ද, ඔවුන් ශික්ෂා පිරීමෙහි සමාදන් නොකරවයි නම් යම් ඒ අන්‍ය භික්ෂූහු ශික්ෂාකාමී ඇත්තාවූ විද්‍යමානවූ ඔවුන්ගේ ගුණ සුදුසු කාලයෙහි නොකියයි නම් කස්සපය, මම එවැනිවූ නවක භික්ෂුවගේ ගුණ නොකියමි. ඊට හෙතු කවරේද?

“ශාස්තෲ තෙමේ ඔහුගේ ගුණ කියායයි අන්‍ය භික්ෂූහු ඔහු භජනය කරන්නාහුය. යම් කෙනෙක් ඔහු භජනය කරන්නාහුද ඔව්හු ඔහුගේ ගති පැවතුම් අනුව යන්නාහුය. එය ඔවුන්ට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. කස්සපය, එහෙයින් මම එවැනි නවක භික්ෂුවගේ ගුණ නොකියමි.

“කස්සපය, ස්ථවිර භික්ෂුවක් ශික්ෂාකාමී වෙයිද ශික්ෂා පිරීමෙහි ගුණ කියන්නේ වෙයිද යම් ඒ අන්‍ය භික්ෂූහු ශික්ෂා නුපුරත් නම් ඔවුන් ශික්ෂා පිරීමෙහි යොදවත්ද යම් ඒ අන්‍ය භික්ෂූහු ශීක්ෂාකාමී වෙත්නම් ඇත්තාවූ විද්‍යමානවූ ඔවුන්ගේ ගුණ සුදුසු කාලයෙහි කියන්නේද.

“මම ඒ ස්ථවිර භික්ෂුවගේ ගුණ කියමි. කුමක් හෙයින්ද?

“ශාස්තෲ තෙමේ ඔහුගේ ගුණ කියායයි අන්‍ය භික්ෂූහු ඔහු භජනය කරන්නාහුය. ඔව්හු ඔහුගේ ගති පැවතුම් අනුව යන්නාහුය. එය ඔවුන්ට බොහෝ කාලයක් හිත පිණිස සැප පිණිස වන්නේය. කස්සපය, එහෙයින් මම එවැනි ස්ථවිර භික්ෂුවගේ ගුණ කියමි.

“කස්සපය, මධ්‍යමවූ භික්ෂුවක්ද (මෙහි මේ සූත්‍රයේ 17 ඡෙදය යෙදිය යුතුයි.) කස්සපය, නවක භික්ෂුවක්ද (මෙහි මේ සූත්‍රයේ 17 ඡෙදය යෙදිය යුතුයි)

(මේ ඡෙදය මේ සූත්‍රයේ 19 ඡෙදය මෙනි.) (නවවැනි ශ්‍රමණ වර්ගය නිමි)