අංගුත්තර නිකාය
එක නිපාතය
10. ලෝණඵල වර්ගය
93. පවිවෙකත්ත සූත්‍රය
“මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ විවෙක තුනක් පනවත්. කවර තුනක්ද යත්? චීවර පවිවෙකය (සිවුරෙහි ආශාවෙන් වෙන්වීම) පිණඩපාත පවිවෙකය (ආහාරයෙහි ආශාවෙන් වෙන්වීම) සෙනාසන පවිවෙකය (සෙනසුනෙහි ආශාවෙන් වෙන්වීම) යන මේ තුනය.
“මහණෙනි, එයින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය චීවර පවිවෙකයෙහි පනවත්. හන වැහැරිද දරත්. හන මිශ්‍ර වස්ත්‍රද දරත්. මල සිරුරුවලින් ඉවත් කරන ලද වස්ත්‍රද දරත්. බිම වීසිකර දමන ලද වස්ත්‍රද රුක් පතුරුද දරත්. දිවි සම්ද දරත්. මැදින් පලන ලද කුර සහිත දිවි සම්ද දරත්. කුසතණ වැහැරිද දරත්. දුහුල් වැහැරිද දරත්. ලෑලි තීරුද දරත්. හිසකේ වලින් කළ වස්ත්‍රද දරත්. අස් ලොමින් කළ වස්ත්‍රද දරත්. බකමුණු පිහාටුද දරත්. මහණෙනි, මෙය අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ චීවර පවිවෙකයෙහි පනවත්.
“මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය පිණ්ඩපාත විවෙකයෙහි පනවත්. අමුකොළ කන්නාහුද වෙත්. බඩ හමු කන්නාහුද වෙත්. ඉබේට හැදුණ වී වර්ග කන්නාහුද වෙත්. සම් කුඩු කරන්නාහුද වෙත්. රුක් මැලියන් කන්නාහුද වෙත්. වී කුඩු කන්නාහුද වෙත්. දංකුඩ කන්නාහුද වෙත්. පුනක්කු කන්නාහුද වෙත්. තෘණ කන්නාහුද වෙත්. ගොම කන්නාහුද වෙත්. වනමුල් ගෙඩි කන්නාහුද වෙත්. මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය පිණ්ඩපාත විවෙකයෙහි පනවත්.
“මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය සෙනාසන විවෙකයෙහි පනවත්. අරණ්‍යය, රුක්මුලය, සොහොනය, ගමට දුර කැලය, එළිමහණ, පිදුරු ගොඩ කමත යන මේයි. මහණෙනි, මෙය අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ සෙනාසන විවෙකයෙහි පනවත්. මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මේ විවෙක තුන පනවත්.
“මහණෙනි, මේ ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙහි භික්ෂුවට විවෙක තුනක් වෙත්. කවර තුනක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත් වේද, ඔහු විසින් දුස්සීල බව පහකරන ලද්දේ වෙයිද, එයින් වෙන්වූයේ වෙයිද සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද ඔහු විසින් මිථ්‍යාදෘෂ්ටිය පහකරන ලද්දේ වෙයිද, එයින් වෙන්වූයේ වෙයිද, ක්ෂය කරනලද ආශ්‍රව ඇත්තේ වෙයිද, ඔහු විසින් ආශ්‍රවයෝ පහකරන ලද්දාහු වෙත්ද, එයින් වෙන්වූයේ වෙයිද, මහණෙනි, මේ මහණ තෙම සීලයෙන් කෙළවරට පැමිණියේයයිද, සීල සාරයට පැමිණියේ යයිද, පිරිසිදු වූයේ යයිද, සීල සමාධි ප්‍රඥා සාරයෙහි පිහිටියේ යයිද, කියනු ලැබේ.
“මහණෙනි, ගෘහපති ගොවියාගේ පැසුණාවූ හැල් කෙතක් වේද ගෘහපති ගොවිතෙම වහ වහා සිදුවන්නේය වහ වහා සිඳුවා වහ වහා එකතු කරවන්නේය. වහ වහා එකතු කරවා වහ වහා කමතෙහි රැස් කරවන්නේය. වහ වහා කමතෙහි රැස් කරවා වහ වහා කොළ ගස්වන්නේය. වහ වහා කොළ ගස්වා මඩවන්නේය. වහ වහා මඩවා මැඬුවන් බාන්නේය. වහ වහා මැඩුවන් බා වහ වහා බොල් පොලා හරින්නේය. වහ වහා බොල් පොලා හැර වහ වහා අටු කොටුවලට ගෙන්වන්නේය. වහ වහා ගෙන්වා වහ වහා කොටවන්නේය. වහ වහා කොටවා වහ වහා පොතු ඉවත් කරන්නේය. මහණෙනි, ඒ ගෘහපති ගොවියාගේ ඒ ධාන්‍ය මෙසේ අග්‍ර බවට පැමිණියාහුද සාර බවට පැමිණියාහුද පිරිසිදුවූවාහුද සාරයෙහි පිහිටියාහුද වෙත්.
මහණෙනි, එසේ මහණ තෙමේ සිල්වත්වූයේ වෙයිද ඔහු විසින් දුස්සීල බව පහකරන ලද්දේ වෙයිද, එයින් වෙන්වූයේ වෙයිද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඔහු විසින් මිථ්‍යා දෘෂ්ටිය පහකරන ලද්දේ වෙයිද, එයින් වෙන්වූයේ වෙයිද, ක්ෂය කරනලද ආශ්‍රවයන් ඇත්තේ වෙයිද, ඔහු විසින් ආශ්‍රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙත්ද, එයින් වෙන්වූයේ වෙයිද, මහණෙනි මේ මහණ තෙමේ අග්‍ර බවට පැමිණියේයයිද සාර බවට පැමිණියේයයිද, පිරිසිදු වූයේයයිද සාරයෙහි පිහිටියේ යයිද, කියනු ලැබේ.