අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
4. හතරවෙනි පණ්ණාසකය
(18) 3. සඤ්චෙතනිය වර්ගය
7. රාහුලොවාද සූත්‍රය
’’ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි . ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේට, භාග්‍යවතුන් වහන්සේ, ’’රාහුලය, යම් අධ්‍යාත්මික පෘථුවි ධාතුවක් ඇද්ද? යම් බාහිර පෘථුවි ධාතුවක් ඇද්ද? මෝ තොමෝ පෘථිවි ධාතුවමය.
’’එය මගේ නොවේ. මේ තෙමේ මම නොවෙමි. මේ තෙමේ මාගේ ආත්මය නොවේ. මෙය මෙසේ තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දැක්ක යුතුයි.
’’ මෙය මෙසේ සම්‍යක් ප්‍රඥාවෙන් තත්වූ පරිද්දෙන්, දැක පථුවි ධාතුවෙහි කලකිරෙයි. පෘථුවි ධාතුවෙහි සිත නොඅලවයි.
’’රාහුලය, යම් අධ්‍යාත්මික ආපො ධාතුවක් ඇද්ද? යම් බාහිර ආපො ධාතුවක් ඇද්ද? මෝ තොමෝ ආපො ධාතුවමය. එය මගේ නොවේ. මේ තෙමේ මම නොවෙමි. මේ තෙමේ මාගේ ආත්මය නොවේ. මෙය මෙසේ තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. මෙසේ එය සම්‍යක් ප්‍රඥාවෙන් දැක ආපො ධාතුවෙහි කලකිරෙයි. ආපො ධාතුවෙහි සිත නොඅලවයි.
’’රාහුලය, යම් අධ්‍යාත්මික තෙජෝ ධාතුවක් ඇද්ද? යම් බාහිර තේජෝ ධාතුවක් ඇද්ද? මෝ තොමෝ තේජෝ ධාතුවමය. එය මගේ නොවේ. මේ තෙමේ මම නොවෙමි. මේ තෙමේ මාගේ ආත්මය නොවේ. මෙය මෙසේ තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. මෙසේ එය සම්‍යක් ප්‍රඥාවෙන් දැක තේජෝ ධාතුවෙහි කලකිරෙයි. තේජෝ ධාතුවෙහි සිත නොඅලවයි.
’’රාහුලය, යම් අධ්‍යාත්මික වායො ධාතුවක් ඇද්ද? යම් බාහිර වායො ධාතුවක් ඇද්ද? මෝ තොමෝ වායො වායො ධාතුවමය. එය මගේ නොවේ. මේ තෙමේ මම නොවෙමි. මේ තෙමේ මාගේ ආත්මය නොවේ. මෙය මෙසේ තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. මෙසේ එය සම්‍යක් ප්‍රඥාවෙන් දැක වායො ධාතුවෙහි කලකිරෙයි. වායො ධාතුවෙහි සිත නොඅලවයි.
’’රාහුලය, යම් තැනෙක සිටි මහණ තෙම මේ සතර ධාතූන්හි තමා නොවේයයි තමා කෙරෙහි නොවේයයි මනාව දකීද, රාහුලය, මේ මහණ තෙම තෘෂ්ණාව සින්දේය. සංයෝජනය පෙරලා දැම්මේය. මනාකොට මානයාගේ ප්‍රහාණයෙන් දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ.’’