අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(20) 5. මහා වර්‍ගය

2. චතුට්ඨාන ජානන සූත්‍රය

’’මහණෙනි, මේ කරුණු සතරක්, කරුණු සතරකින් දත යුත්තාහ. කවර සතරක්ද යත්, මහණෙනි, එකට විසීමෙන් ස්වභාවය දත යුතුය.

’’එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්‍ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ.

’’මහණෙනි, කථාවෙන් පිරිසිදු බව දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්‍ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ.

’’මහණෙනි, විපතක් පැමිණි කල්හි ශක්තිය දත යුත්තාහ. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්‍ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ.

’’මහණෙනි, සාකච්ඡාවෙන් ප්‍රඥාව දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්‍ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ.

’’මහණෙනි, එකට විසීමෙන් ස්වභාවය දතයුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්‍ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ.

මෙසේ යමක් වදාරණ ලද්දේ නම්, මෙය කුමක් නිසා වදාරණ ලද්දේද?

’’මහණෙනි, මේ ලොකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග වසන්නේ, ’බොහෝ කාලයක් මේ ආයුෂ්මත් තෙම ශීලය කැඩීම කරන්නේය. සිදුරු කරන්නේය. පුල්ලි කරන්නේය. කිලුටු කරන්නේය. ස්ථිර ක්‍රියා නොකරන්නේය. සීලය සියලු කාලයෙහි නොරකින්නේය. මේ ආයුෂ්මත් තෙමේ දුශ්ශීලය, මේ ආයුෂ්මත් තෙමේ සිල්වත් නොවේය’ යි මෙසේ දනී.

’’මහණෙනි, මේ ලොකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග වසන්නේ, ’මේ ආයුෂ්මත් තෙමේ බොහෝ කාලයක් ශීලය කැඩීම නොකරන්නේය. සිදුරු නොකරන්නේය. පුල්ලි නොකරන්නේය. කිලුටු නොකරන්නේය. ස්ථිර ක්‍රියා කරන්නේය. සියලු කල්හි සීලය රකින්නේය. මේ ආයුෂ්මත් තෙමේ සීලවන්තය, මේ ආයුෂ්මත් තෙමේ දුශ්ශීල නොවේය’ යි මෙසේ දනී.

’’මහණෙනි, සමග වාසයෙන් සීලය දත යුතුය.

’’එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්‍ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේයයි මෙසේ යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලද්දේය..

’’මහණෙනි, කථාවෙන් පිරිසිදු බව දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්‍ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ. මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය කුමක් නිසා වදාරණ ලද්දේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග කථා කරන්නේ, ’මේ ආයුෂ්මත් තෙමේ අන් ප්‍රකාරයකින් එකෙකු සමග එකෙකුවී කථා කරයි. දෙදෙනෙකු සමග අන් ප්‍රකාරයකින්ද, තුන් දෙනෙකු සමග අන් පරිද්දෙකින්ද, බොහෝ දෙනා සමග අන් පරිද්දෙකින්ද, බැස ගනී. මේ ආයුෂ්මත් තෙමේ පූර්‍ව කථාවෙන් අපර කථාව අපිරිසිදු කථා ඇත්තෙකි. මේ ආයුෂ්මත් තෙමේ අපිරිසිදු කථා ඇත්තේයයි’ මෙසේ දනියි.

’’මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගල තෙම පුද්ගලයෙකු සමග කථා කරන්නේ, යම් පරිද්දෙකින් මේ ආයුෂ්මත් තෙමේ එකෙකු හා එකක් කථා කරයි. දෙදෙනෙකු සමගත් එසේය. තුන්දෙනෙකු සමගද එසේය. බොහෝ දෙනා සමගද එසේය. මේ ආයුෂ්මත් තෙමේ පූර්‍ව කථාවෙන් අපර කථාව පිරිසිදු කථා ඇත්තෙකුව නොපවතී. මේ ආයුෂ්මත් තෙමේ අපිරිසිදු කථා ඇත්තේයයි නොදනියි. මහණෙනි, කථාවෙන් පිරිසිදුකම දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්‍ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ. මෙසේ ඒ යමක් වදාරණ ලද නම් මෙය මේ සඳහා වදාරණ ලදී.

’’මහණෙනි, විපතක් පැමිණි කල්හි ශක්තිය දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්‍ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ. මෙසේ යමක් වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලදද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙණෙක් ඥාතීන්ගේ ව්‍යසනයකින් ස්පර්‍ශවූයේ. වස්තු විනාශයකින් ස්පර්‍ශවූයේ, රෝග ව්‍යසනයකින් ස්පර්‍ශවූයේ, යම්බඳු ලොකයෙහි, යම්බඳු ආත්ම ප්‍රතිලාභයෙක්හි ලාභය, අලාභය, අයස, යසස, නින්‍දා, ප්‍රශංසා, සුඛ, දුක්ඛ, යන අෂ්ටලෝක ධර්‍මයෝ ලොකය ලුහු බඳිද්ද, ලොකයාද අෂ්ටලොක ධර්‍මයන් ලුහුබඳියි. මේ ලෝකයේ වාසය එබඳුය.

’’මේ ආත්මභාව ප්‍රතිලාභය එසේයයි මෙසේ කල්පනා නොකරයි. හෙතෙම ඤාතිව්‍යසනයෙන් ස්පර්‍ශවූයේම, භොග ව්‍යසනයෙන් ස්පර්‍ශවූයේම, රොග ව්‍යසනයෙන් ස්පර්‍ශවූයේම, සොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත්බැඳ හඬයි. මුළාවට පැමිණෙයි.

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙණෙක් ඥාතීන්ගේ ව්‍යසනයකින් ස්පර්‍ශවූයේ. වස්තු විනාශයකින් ස්පර්‍ශවූයේ, රෝග ව්‍යසනයකින් ස්පර්‍ශවූයේ, යම්බඳු ලොකයෙහි, යම්බඳු ආත්ම ප්‍රතිලාභයෙක්හි ලාභය, අලාභය, අයස, යසස, නින්‍දා, ප්‍රශංසා, සුඛ, දුක්ඛ, යන අෂ්ටලෝක ධර්‍මයෝ ලොකය ලුහු බඳිද්ද, ලොකයාද අෂ්ටලොක ධර්‍මයන් ලුහුබඳියි. මේ ලෝකයේ වාසය එබඳුය.

’’මේ ආත්මභාව ලැබීම එබඳුයයි මෙසේ කල්පනා කරයි. හෙතෙම ඤාති ව්‍යසනයෙන් හෝ ස්පර්‍ශවූයේ, භොගව්‍යසනයෙන් ස්පර්‍ශවූයේ, රොගව්‍යසනයෙන් ස්පර්‍ශවූයේ, ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ලෙහි අත් බැඳ නොහඬයි. මුළාවට නොපැමිණෙයි.

’’මහණෙනි, විපතක් පැමිණි කල්හි ශක්තිය දත යුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්‍ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ. මෙසේ යමක් වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලදද?

’’මහණෙනි, සාකච්ඡාවෙන් ප්‍රඥාව දතයුතුය. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්‍ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ. මෙසේ යමක් වදාරණ ලද්දේද, ඒ කුමක් සඳහා වදාරණ ලදද?

’’මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් තෙම පුද්ගලයෙකු සමග සාකච්ඡා කරන්නේ, ’මේ ආයුෂ්මත්හුගේ ප්‍රශ්ණකිරීමේ නුවණ. ප්‍රශ්ණ ගෙතීම, ප්‍රහ්ණ හැසිරවීම, යම් බඳුද, මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥය. මේ ආයුෂ්මත් තෙමේ ප්‍රඥාවන්ත නොවේ. ඊට හේතු කවරේද?

’’මේ ආයුෂ්මත් තෙමේ ශාන්තවූ, ප්‍රණීතවූ, තර්‍කයට අසු නොවන, සියුම් පණ්ඩිතයන් විසින් දතයුතුවූ, ගැඹුරු අර්ත්‍ථයන්, ගැඹුරු පදයන් නොඑලවයි. මේ ආයුෂ්මත් තෙමේ යම් ධර්‍මයක් කියයිද, ඒ ධර්‍මයාගේ සංක්‍ෂෙපයෙන් හෝ විස්තර වශයෙන් හෝ අර්ත්‍ථය ප්‍රකාශ කරන්ට, දේශනා කරන්ට, පණවන්ට, තබන්ට, විවරණය කරන්ට, බෙදන්ට, පහසුකරන්ට අදක්‍ෂය. මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥය. මේ ආයුෂ්මත් තෙමේ ඤාණවන්ත නොවේ.

’’මහණෙනි, යම්සේ ඇස ඇති පුරුෂයෙක් දිය විලෙක්හි ඉවුරක සිටියේ මතුවෙන කුඩා මසෙකු දක්නේය. ඔහුට යම්සේ වනාහි මේ මත්ස්‍යයාගේ මතුවූ මාර්ගය යම්සේද, වේගය යම්සේද, මේ මත්ස්‍යයා පොඩි එකෙක. මේ මත්ස්‍යයා මහත් එකෙක් නොවේයයි මෙබඳු අදහසක් වන්නේය. ’’මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් තෙම පුද්ගලයෙකු සමග සාකච්ඡා කරන්නේ, ’මේ ආයුෂ්මත්හුගේ ප්‍රශ්ණකිරීමේ නුවණ. ප්‍රශ්ණ ගෙතීම, ප්‍රහ්ණ හැසිරවීම, යම් බඳුද, මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥය. මේ ආයුෂ්මත් තෙමේ ප්‍රඥාවන්ත නොවේ. ඊට හේතු කවරේද?

’’මහණෙනි,මේ ලොකයෙහි පුද්ගලයෙක් තෙම, පුද්ගලයෙකු සමග සාකච්ඡා කරන්නේ, මේ ආයුෂ්මත්හුගේ ප්‍රශ්ණ කිරීමේ නුවණ, ප්‍රශ්ණ ගෙතීම, ප්‍රශ්ණ හැසිරවීම. යම් බඳුද, මේ ආයුෂ්මත් තෙම ඤාණවන්තය. මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥ නොවේයයි දනියි. ඊට හේතු කවරේද? එසේම මේ ආයුෂ්මත් තෙමේ ශාන්ත, ප්‍රණීත, තර්‍කයට නොඅසුවන, සියුම්වූ, පණ්ඩිතයන් විසින් දතයුතුවු, ගැඹුරු අර්ත්‍ථයන්, ගැඹුරු පදයන් උදාහරණ කරයිද, මේ ආයුෂ්මත් තෙමේ යම් ධර්‍මයක් කියයිද. ඒ ධර්‍මයාගේ සංක්‍ෂෙපයෙන් හෝ විස්තර වශයෙන් හෝ අර්ත්‍ථය ප්‍රකාශ කරන්ට, දේශනා කරන්ට, පණවන්ට, තබන්ට, විවරණය කරන්ට, බෙදන්ට, පහසුකරන්ට දක්‍ෂවේ. මේ ආයුෂ්මත් තෙමේ ඤාණවන්තය. මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥ නොවේයයි,

’’මහණෙනි, යම්සේ පුරුෂයෙක් දියවිලෙක්හි ඉවුරෙහි සිටියේ මතුවෙන මහත් මසෙකු දක්නේය. ඕහට මේ මත්ස්‍යයාගේ මතුවූ මාර්‍ගය යම්සේද, රළ යම්සේද, වේගය යම්සේද, මේ මත්ස්‍යයා මහත්ය. මේ මත්ස්‍යයා ස්වල්ප නොවේ යයි මෙසේ සිතෙන්නේය.

’’මහණෙනි,මේ ලොකයෙහි පුද්ගලයෙක් තෙම, පුද්ගලයෙකු සමග සාකච්ඡා කරන්නේ, මේ ආයුෂ්මත්හුගේ ප්‍රශ්ණ කිරීමේ නුවණ, ප්‍රශ්ණ ගෙතීම, ප්‍රශ්ණ හැසිරවීම. යම් බඳුද, මේ ආයුෂ්මත් තෙම ඤාණවන්තය. මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥ නොවේයයි දනියි. ඊට හේතු කවරේද? එසේම මේ ආයුෂ්මත් තෙමේ ශාන්ත, ප්‍රණීත, තර්‍කයට නොඅසුවන, සියුම්වූ, පණ්ඩිතයන් විසින් දතයුතුවු, ගැඹුරු අර්ත්‍ථයන්, ගැඹුරු පදයන් උදාහරණ කරයිද, මේ ආයුෂ්මත් තෙමේ යම් ධර්‍මයක් කියයිද. ඒ ධර්‍මයාගේ සංක්‍ෂෙපයෙන් හෝ විස්තර වශයෙන් හෝ අර්ත්‍ථය ප්‍රකාශ කරන්ට, දේශනා කරන්ට, පණවන්ට, තබන්ට, විවරණය කරන්ට, බෙදන්ට, පහසුකරන්ට දක්‍ෂවේ. මේ ආයුෂ්මත් තෙමේ ඤාණවන්තය. මේ ආයුෂ්මත් තෙමේ දුෂ්ප්‍රාඥ නොවේයයි,

’’මහණෙනි, සාකච්ඡාවෙන් ප්‍රඥාව දතයුතුයයි. එයද, ස්වල්ප කාලයකින් නොවේ. දීර්‍ඝ කාලයකිනි. සිහි කරන්නාහටය. නොමෙනෙහි කරන්නාට නොවේ. ප්‍රඥාවන්තයා විසිනි. දුෂ්ප්‍රාඥයා විසින් නොවේ. මෙසේ යමක් වදාරණ ලද්දේද, මෙය මේ සඳහා වදාරණ ලදී. මහණෙනි, මේ කරුණු සතර මේ කරුණු සතරින් දත යුත්තාහ.’’