අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(20) 5. මහා වර්‍ගය

6. සාළ්හාභය සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ සිටින සේක. ඉක්බිති සාල්හ ලිච්ඡවි තෙමේද, අභය ලිච්ඡවි තෙමේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි සාල්හ ලිච්ඡවි තෙම භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, සීලයෙන් පවට පිළිකුල් කරන්නාවූද, තපසින් පාපයට පිළිකුල් කරන්නාවූද, මේ දෙකින් අතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සතර ඕඝයන්ගෙන් එතරවීම පනවත්. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කුමක් වදාරණ සේක්ද?’’ ’’සාල්හය, මම සීල විසුද්‍ධිය එක් ශ්‍රමණ ධර්‍ම කොට්ඨාශයකැයි කියමි.

’’සාල්හය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් තපසින් පවට පිළිකුල් කරණ වාද ඇත්තේද, තපසින් පවට පිළිකුල් කිරීම හරය කොට ඇත්තේද, තපසින් පවට පිළිකුල් කිරීමෙහි ඇලුනාහු වෙත්ද, ඔවුහු ඕඝයෙන් එතෙරවීමට නුසුදුසුය.

’’සාල්හය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් අපිරිසිදු කායික හැසිරීම් ඇත්තාහුද, අපිරිසිදු වාක් හැසිරීම් ඇත්තාහුද, අපිරිසිදු සිතිවිලි ඇත්තාහුද, අපිරිසිදු ජීවිකාව ඇත්තාහුද, ඔවුහු නිරුත්තර සම්බෝධිය පිණිස මාර්‍ගඥාන දර්‍ශනය ඉපදවීමට නුසුදුසුය.

’’සාල්හය, යම්සේ පුරුෂ තෙම, නදියක් තරණය කරණු කැමැත්තේ, තියුණු කෙටේරියක් ගෙන වනයට ප්‍රවිෂ්ට වන්නේය. හෙතෙම එහි ඎජුවූ, අළුත්වූ, සැක නොඉපදවිය යුතු මහත් සල් ගසක් දක්නේය. ඔහු එය මුලින් සිඳින්නේය. මුලින් සිඳ, අගින් සිඳින්නේය. අගින් සිඳ, අතු, කොළ අතිශයින් පිරිසිදු කොට පිරිසිදු කරන්නේය. අතිශයින් පිරිසිදුකොට, සුද්‍ධකොට, වෑයෙන් සසින්නේය. කෙටේරියෙන් සැස වෑයෙන් සසින්නේය.

’’වෑයෙන් සැස, යත්තෙන් ගාන්නේය. යත්තෙන් ගා, ගල්අලුවෙන් මදින්නේය. ගල්අළුවෙන් මැද, ගඟට බස්වන්නේය. සාල්හය, ඒ කුමකැයි හඟින්නේද, ඒ පුරුෂ තෙම නදිය තරණය කරන්ට සුදුුසුද?’’ ’’නැත, ස්වාමීනි.’’ ’’ඊට හේතු කවරේද?’’

’’ස්වාමීනි, ඒ සල්ගස පිටතින් පරිකර්ම කරණ ලද්දේ, ඇතුළත සුද්‍ධ නොකරණ ලද්දේ, සල්ගස කිඳෙන්නේය. පුරුෂයා විනාශයට පැමිණෙන්නේය, යන මෙය ඔහු විසින් කැමතිවිය යුතුයි.

’’සාල්හය, එසේම, යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් තපසින් කෙලෙස් තවන වාද ඇත්තාහු, තපසින් කෙලස් තැවීම් හරය කොට ඇත්තාහු, තපසින් පාපයට පිළිකුල් කිරීමෙහි ඇලුනාහු වෙසෙත්ද, ඔවුහු ඕඝයන්ගෙන් එතරවීමට නුසුදුසුය.

’’සාල්හය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් අපිරිසිදු කායික හැසිරීම් ඇත්තාහුද, අපිරිසිදු වාක් හැසිරීම් ඇත්තාහුද, අපිරිසිදු සිතිවිලි ඇත්තාහුද, අපිරිසිදු ජීවිකාව ඇත්තාහුද, ඔවුහු නිරුත්තර සම්බෝධිය පිණිස මාර්‍ගඥාන දර්‍ශනය ඉපදවීමට නුසුදුසුය.

’’සාල්හය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් තපසට නින්දා කරණ වාද නැත්තේද, තපසට නින්දා කිරීම හරයකොට නැත්තේද, තපසට නින්දා කිරීමෙහි නොඇලී වෙසෙත්ද, ඔවුහු ඕඝයෙන් එතරවීමට සුදුසුය. සාල්හය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් පිරිසිදු කයින් හැසිරීම් ඇත්තේද, පිරිසිදු වචනයෙන් හැසිරීම් ඇත්තේද, පිරිසිදු සිතින් හැසිරීම් ඇත්තේද, පිරිසිදු ආජීවය ඇත්තේද, ඔවුහු නිරුත්තර සම්බෝධිය පිණිස ඤාණදර්‍ශණය ඉපදවීමට සුදුසුය.

’’සාල්හය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් අපිරිසිදු කායික හැසිරීම් ඇත්තාහුද, අපිරිසිදු වාක් හැසිරීම් ඇත්තාහුද, අපිරිසිදු සිතිවිලි ඇත්තාහුද, අපිරිසිදු ජීවිකාව ඇත්තාහුද, ඔවුහු නිරුත්තර සම්බෝධිය පිණිස මාර්‍ගඥාන දර්‍ශනය ඉපදවීමට නුසුදුසුය. උපකරණ උපකරණය ගෙන සාරන්නේය. ඇතුළත සුද්‍ධ කරන්නේය. යත්තෙන් යතු ගාන්නේය. යත්තෙන් යතුගා ගල්අළුයෙන් මදින්නේය. ගල්අළුයෙන් මැද, නැවක් කරන්නේය. නැවක් කොට කොල්ලෑව සහ රුවල් බඳින්නේය. කොල්ලෑව සහ රුවල් බැඳ. ගඟට දමන්නේය. සාල්හය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂ තෙම ගඟ තරණය කරන්ට සුදුසුද?’’ ’’ස්වාමීනි, එසේයි.’’ - ’’ඊට හේතු කවරේද?’’

’’ස්වාමීනි, ඒ සල්ගස පිටත මනාකොට පිරියම් කරණ ලදී. ඇතුළත නැවක් කරණ ලදී. කොල්ලෑව සහ රුවල බඳින ලදී. නැව ගිලා නොබසී. පුරුෂයා සුවසේ පරතෙරට යන්නේය, යන මෙය කැමතිවිය යුතුයි.

’’සාල්හය, එසේම යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙණෙක් පිරිසිදු කාය හැසිරීම් ඇද්ද, පිරිසිදු වාක් හැසිරීම් ඇද්ද, පිරිසිදු සිතකින් හැසිරීම් ඇද්ද, පිරිසිදු ජීවිකාව ඇද්ද, ඔවුහු නිරුත්තර සම්බෝධිය පිණිස ඤාණ දර්‍ශනය ඉපදවීමට සුදුසුය.

’’සාල්හය, යම්සේ යුද්‍ධයෙන් ජීවත් වන්නෙක් බොහෝ හී වලින් කළයුතු චිත්‍ර දනීද, වැලිදු හෙතෙම කරුණු තුනකින් රජුට සුදුසුවේ. රාජ භොග්‍ය වේ. රජුගේ කොටසකැයි යන සංඛ්‍යාවට යේ. කවර තුනකින්ද යත්, ඈත හෙලන්නේද වේ. විදුලි එලියෙන් විදින්නේ වේ. මහත් ශරීර ලන්නේ වේ. සාල්හය, යම්සේ යෝධාජීව තෙමේ දුර හෙන්නේ වේද, සාල්හය, එසේම ආර්‍ය්‍යශ්‍රාවක තෙම සම්‍යක් සමාධියෙන් යුක්තවූයේ වේද, සාල්හය, සම්‍යක් සමාධියෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ,

’’අතීත, අනාගත, වර්‍තමානවූ, අධ්‍යාත්මවූ හෝ බාහිරවූ, ගොරෝසුවූ හෝ සියුම්වූ, හීනවූ හෝ ප්‍රණීතවූ, ඈත පිහිටි හෝ සමීපයෙහිවූ,

’’යම්කිසි රූපයක් වේද, සියලු රූපය,

’’මෙය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, මේ මගේ ආත්මය නොවේය’’ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දනියි.

’’අතීත, අනාගත, වර්‍තමානවූ, අධ්‍යාත්මවූ හෝ බාහිරවූ, ගොරෝසුවූ හෝ සියුම්වූ, හීනවූ හෝ ප්‍රණීතවූ, ඈත පිහිටි හෝ සමීපයෙහිවූ, යම්කිසි වේදනාවක්, ’’මෙය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, මේ මගේ ආත්මය නොවේය’’ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දනියි. අතීත, අනාගත, වර්‍තමානවූ, අධ්‍යාත්මවූ හෝ බාහිරවූ, ගොරෝසුවූ හෝ සියුම්වූ, හීනවූ හෝ ප්‍රණීතවූ, ඈත පිහිටි හෝ සමීපයෙහිවූ, යම්කිසි සංඥාවක් වේද, ’’මෙය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, මේ මගේ ආත්මය නොවේය’’ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දනියි. අතීත, අනාගත, වර්‍තමානවූ, අධ්‍යාත්මවූ හෝ බාහිරවූ, ගොරෝසුවූ හෝ සියුම්වූ, හීනවූ හෝ ප්‍රණීතවූ, ඈත පිහිටි හෝ සමීපයෙහිවූ, යම්කිසි සංස්කාරයක් වේද, ’’මෙය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, මේ මගේ ආත්මය නොවේය’’ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දනියි. අතීත, අනාගත, වර්‍තමානවූ, අධ්‍යාත්මවූ හෝ බාහිරවූ, ගොරෝසුවූ හෝ සියුම්වූ, හීනවූ හෝ ප්‍රණීතවූ, ඈත පිහිටි හෝ සමීපයෙහිවූ, යම්කිසි විඤ්ඤාණයක් වේද, සියලු විඤ්ඤාණය, ’’මෙය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, මේ මගේ ආත්මය නොවේය’’ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. සාළ්හය, විදුලි එලියෙන් විදින යෝධයා යම්සේද, එසේම සාළ්හය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවේද, සාල්හය, සම්‍යක් දෘෂ්ටියෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක්ඛ නිරෝධයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් නිරුද්‍ධයට ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනී.

’’සාල්හය, මහත් පිරිසක් පලන යුද්‍ධයෙන් ජීවත් වන්නා යම්සේද, සාල්හය, එසේම ආර්‍ය්‍යශ්‍රාවක තෙම අර්හත් ඵල විමුක්තියෙන් යුක්තවූයේ වේද, සාල්හය, සම්‍යක් විමුක්තියෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම මහත් අවිද්‍යා කඳ පලාය’’ යි වදාළ සේක.