අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(26) 6. අභිඤ්ඤා වර්‍ගය
1. අභිඤ්ඤාපරිඤ්ඤෙය්‍ය සූත්‍රය
’’මහණෙනි, මේ ධර්‍ම සතරක් වෙත්. කවර සතරක්ද යත්. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් පිරිසිඳ දතයුතු ධර්‍මයෝ ඇත්තාහ. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රහීන කටයුතු ධර්‍මයෝ ඇත. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන වැඩියයුතු ධර්‍මයෝ ඇත්තාහ. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ ඇත්තාහ.
’’ මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන, පිරිසිඳ දතයුතු ධර්‍මයෝ කවරේද? පඤ්චඋපාදානස්කන්‍ධයෝය. මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් දැන පිරිසිඳ දතයුතු යයි කියත්.
’’ මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රහීන කටයුතු ධර්ම කවරේද? අවිද්‍යාවද, භව තෘෂ්ණාවද යන දෙකයි. මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් ප්‍රහීන කටයුතුය.
’’මහණෙනි, කවර ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් වැඩිය යුතුද? සමථයද, විදර්‍ශනාවද යන දෙකයි. මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් වැඩිය යුත්තාහ.
’’මහණෙනි, කවර ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුද? විද්‍යාවද, විමුක්තියද යන මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුයයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර ධර්‍මයෝයි.’’