අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

1. භණ්ඩගාම වර්‍ගය

3. පළමුවැනි ඛත උපහත සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ, අව්‍යක්තවූ, අසත්පුරිසවූ බාලයා, සිඳින ලද, නසන ලද, ගුණ ඇති තමන් පරිහරණය කරයි. දොස් සහිත වූයේද වෙයි. නුවණැත්තන් විසින් කරණු ලබන උපවාද සහිත වෙයි. බොහෝ පවුද රැස් කරයි. කවර නම් කරුණු සතරකින්ද යත්,

’’නොදැන, පරීක්‍ෂා නොකොට ගුණ නොකිව යුත්තාගේ ගුණ කියයි. නොදැන, පරීක්‍ෂා නොකොට ගුණ කිවයුත්තාගේ අගුණ කියයි. නොදැන, පරීක්‍ෂා නොකොට නොපැහැදියයුතු තැන පහදියි. නොදැන, පරීක්‍ෂා නොකොට පැහැදියයුතු තැන නොපහදියි.

’’මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ, අව්‍යක්තවූ, අසත්පුරිසවූ බාලයා, සිඳින ලද, නසන ලද, ගුණ ඇති තමන් පරිහරණය කරයි. දොස් සහිත වූයේද වෙයි. නුවණැත්තන් විසින් කරණු ලබන උපවාද සහිත වෙයි. බොහෝ පවුද රැස් කරයි.’’

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ, පණ්ඩිතවූ, ව්‍යක්තවූ සත්පුරුෂයා, නොසිඳින ලද, නොනසන ලද, ගුණ ඇති තමන් පරිහරණය කරයි. දොස් රහිත වූයේද වෙයි. නුවණැත්තන් විසින් කරණු ලබන උපවාදද රහිත වෙයි. බොහෝ පින්ද රැස් කරයි. කවර කරුණු සතරකින්ද යත්?

’’දැන, පරීක්‍ෂාකොට නුගුණ කිව යුත්තාගේ නුගුණ කියයි. දැන, පරීක්‍ෂා කොට ගුණ කිවයුත්තාගේ ගුණ කියයි. දැන, පරීක්‍ෂා කොට නොපැහැදියයුතු තැන නොපහදියි. දැන, පරීක්‍ෂා කොට පැහැදියයුතු තැන පහදියි.

’’මහණෙනි, මේ ධර්ම සතරින් යුක්ත, ව්‍යක්ත, සත්පුරුෂ පණ්ඩිතයා, නොසිඳින ලද, නොනසන ලද, ගුණ ඇති තමන් පරිහරණය කරයි. දොස් රහිත වූයේද වෙයි. නුවණැත්තන් විසින් කරණ ලද උපවාද රහිතද වෙයි. බොහෝ පින් රැස් කරයි.’’

’’යමෙක් නින්‍දා කටයුත්තෙකුට ප්‍රශංසා කරයිද? යමෙක් ප්‍රශංසාවට සුදුසුද, ඔහුට නින්‍දා කෙරේද? හෙතෙම මුවින් පාපයක් රැස් කරයි. ඒ පාපයෙන් සැපයක් නොවිඳී. දාදු ක්‍රීඩා ආදියෙන් යම් ධනයත් සමග තමන්ගේ විනාශය වේද, ඒ විනාශය ස්වල්ප එකකි. යම් කිසි කෙනෙක් සත්පුරුෂයන් කෙරෙහි සිත නොපහදවයිද, එයම අතිශයින් මහත් විනාශය වෙයි. වචනයද, සිතද පාපයට යොදා යමෙක් ආර්‍ය්‍යයන්ට ගරහන්නේද, ඔහු නිරබ්බුද ගණනින් එක් ලක්‍ෂ සතිසක් සහ අබ්බුද ගනනින් පසක්ද, නිරයෙහි පැසෙයි.’’