අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

5. රොහිතස්ස වර්‍ගය

5. පළමුවෙනි රොහිතස්ස සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති රෝහිතස්ස නම් දිව්‍ය පුත්‍ර තෙම කාලය ඉක්ම ගිය රාත්‍රියෙහි බබලන ශරීර වර්‍ණයෙන් යුක්තව, ජේතවනය ආලෝක කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.

’’එකත්පසෙක සිටි රොහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ’’යම් තැනෙක්හි නූපදියිද, නොදිරයිද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ස්වාමීණි, ගමණින් ලෝකයෙහි කෙළවර දැනගන්ට හෝ දකින්ට හෝ පැමිනෙන්ට හෝ හැක්කේදැ’’ යි ඇසීය.

’’ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි.’’

’’ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයයි. ස්වාමීනි, පුදුමයි. ’’ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි.’’ යන යමක් වදාළේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය යහපත්කොට වදාරණ ලදී.

’’ස්වාමීනි, මම පෙර ඉර්ධි ඇති, අහසින් යන්නාවූ, වැදි පුත්‍රවූ, රෝහිතස්ස නම් ඎෂියෙත් වූවෙමි. ස්වාමීනි, ඒ මට හික්මුනාවූ, කළ පුරුද්ද ඇති, දක්වන ලද ශිල්ප ඇති, සැහැල්ලු ඊයකින් නිදුකින් තල් සෙවනැල්ලක් ඉක්මවන්නේ නම් එබඳු උතුම් දුන්නක් ඇති දුනු දරන්නෙක් යම් සේද, එබඳු ජවයක් වූයේය. යම්සේ පූර්‍වදිග මුහුදින් බටහිර මුහුද යම් සේද, එබඳු පා මාරුවක් වූයේය. ’මෙබඳු ජවයකින් යුත්, මෙබඳු ගමන් ඇති, ඒ මට, මම ගමනින් ලෝකයෙහි කෙළවරට යන්නෙමි’ යි මෙබඳු අදහසක් ඇතිවිය. ස්වාමීනි, ඒ මම කෑම් බීම් දෙක හැර, මල මූත්‍ර කිරීම් හැර, නිදීම් ක්ලාන්ත සංසිඳවීම් හැර, වර්‍ෂ සීයක් ඇත්තේ, වර්‍ෂ සියයක් ජීවත් වන්නේ, වර්‍ෂ සියයක් ගොස් ලොකයෙහි අන්තයට නොපැමිණම, ලෝකය අතරෙහිම කාලක්‍රියා කළෙමි.

’’භාගයවතුන් වහන්සේ විසින්, ’’ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි.’’ යි වදාරණ ලද්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් යහපත් කොටම වදාරණ ලද්දකි.’’

’’ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි. ඇවැත්නි, එහෙත් යම් තැනක නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, ඇවැත්නි, මම ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරිම නොකියමි. ඇවැත්නි, මම සංඥාවෙන් යුත්, සිතින් යුත් මේ බඹයක් පමණ ශරීරයෙහි ලෝකයද, (දුක්ඛ සත්‍යයද) පනවමි. ලෝක සමුදයද (දුකට හේතුවද) පනවමි. ලෝක නිරෝධයද පනවමි. ලොක නිරෝධයට පැමිණෙන මාර්‍ගයද පණවමි.’’

’’කිසිකලෙක ලෝකයාගේ කෙළවරට ගමණින් නොපැමිණිය හැක. ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුකින් මිදීමක් නැත. එසේ හෙයින් ඒකාන්තයෙන් ලෝකය දත් ප්‍රඥාවත්, ලෝකයෙහි කෙළවරට ගිය, වැස නිමවන ලද බඹසර ඇති, පව් සමනය කළ ලෝකයාගේ කෙළවර දැන, මෙලොවද, පරලොවද බලාපොරොත්තු නොවෙමි.’’