අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
5. රොහිතස්ස වර්ගය
9. චතුවිපල්ලාස සූත්‍රය
’’මහණෙනි, මේ විපරීත සංඥාවෝ, විපරීත චිත්තයෝ, විපරීත දෘෂ්ටීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
’’මහණෙනි, අනිත්‍යයෙහි නිත්‍යය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, දුකෙහි සැපය යන මෙය විපරීත සංඥාවකි. විපරීත සිතකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, අනාත්මයෙහි ආත්මය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, අසුභයෙහි ශුභය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි.
’’මහණෙනි, මේ සතර විපරීත සංඥාවෝය. විපරීත චිත්තයෝය. විපරීත දෘෂ්ටීහුය. මහණෙනි, මේ සතර විපරීත සංඥාවෝ නොවෙති. විපරීත චිත්තයෝ නොවෙති. විපරීත දෘෂ්ටීහු නොවෙති. කවර සතර දෙනෙක්ද?
’’මහණෙනි, අනිත්‍යයෙහි අනිත්‍යය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, දුකෙහි දුකය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, අනාත්මයෙහි අනාත්මය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, අසුභයෙහි අශුභය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, මේ සතර සංඥා විපය්‍යාසයෝ නොවෙති. චිත්ත විපර්‍ය්‍යාසයෝ නොවෙති. දිට්ඨි විපර්‍ය්‍යාසයෝ නොවෙති.’’
’’අනිත්‍යයෙහි නිත්‍යය යන සංඥා ඇත්තාවූද, දුකෙහි සැපය යන සංඥා ඇත්තාවූද, අනාත්මයෙහි ආත්මය යන සංඥා ඇත්තාවූද, අශුභයෙහි ශුභය යන සංඥා ඇත්තාවූද, වික්ෂිප්තවූ සිත් ඇති, විපරීත සංඥා ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටි ගත්, මාරයාගේ බැම්මෙහි බැදුනාවූ, යොගයන් ක්ෂය නොකළ ජනයන් වන ඒ සත්ත්වයෝ ඉපදීමට, මරණයට පැමිණෙමින් සසර ගමන් කරත්. යම් කලෙක්හි ආලෝකය ඇති කරන්නාවූ බුදුවරයෝ ලෝකයෙහි උපදිත්ද, ඔවුහු දුක සංසිඳීමට යන මේ ධර්මය ප්‍රකාශ කරත්. නුවණැත්තෝ ඔවුන්ගේ ධර්මය අසා ස්වකීය චිත්තය ලැබ, අනිත්‍යය අනිත්‍යය වශයෙන් දැක්කාහුය. දුක, දුක වශයෙන් දැක්කාහුය. අනාත්මය, අනාත්මය වශයෙන් දැක්කාහුය. අශුභය, අශුභ වශයෙන් දැක්කාහුය. සම්‍යක් දෘෂ්ටි ඇතිවීමෙන් සියලු දුක ඉක්මවූවාහුය.’’