අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(6) 1. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය
2. දුතිය පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය
’’මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්.
’’කවර සතරක්ද යත්, මහණෙනි,මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ,
’’මේ කාරණයෙනුදු ඒ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ අර්‍හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය. සුගතය, ලොකවිදූය. නිරුත්තර පුරුෂදම්මසාරථීය, දෙවි මිනිසුන්ට ශාස්තෲය, බුද්‍ධය, භාග්‍යවත්යයි,
’’බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්‍ධාවෙන් යුක්ත වෙයිද, මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. මේ පළමුවැනි පුණ්‍යොත්පත්තිය කුශලොත්පත්තිය වෙයි.
’’මහණෙනි, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම,
’’භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලදී. සන්දෘෂ්ටිකය, අකාලිකය, එව, බලවයි පෙන්වීමට සුදුසුය, තමා වෙත එළවාගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමා කෙරෙහිම ලා දත යුත්තේයයි,
’’ධර්මයෙහි අචල ශ්‍රද්‍ධාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. මේ දෙවෙනි පුණ්‍යොත්පත්තිය කුශලොත්පත්තිය වන්නේය.
’’මහණෙනි, නැවත ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම,
’’භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්නය. යම් මේ පුරුෂ යුග සතරක් ඇද්ද, පුරුෂ පුදගලයන් අට දෙනෙක් වෙත්ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා ආහුණෙය්‍යය, පාහුනෙය්‍යය, දක්ඛිණෙය්‍යය, අංජලි කර්මයට සුදුසුය. ලොකයාගේ නිරුත්තර පින් කෙතයයි.
’’සංඝයා කෙරෙහි අචල ශ්‍රද්‍ධාවෙන් යුක්තවූයේ වේද, මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. මේ තුන්වෙනි පුණ්‍යොත්පත්තිය කුශලොත්පත්තිය වන්නේය.
’’මහණෙනි, නැවත ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නොකැඩුණු, සිදුරු නොවූ, කබර නොගැසුනු, කිලිටිනුවූ, නිදහස්වූ, නුවණැත්තන් විසින් පසස්නා ලද, තෘෂ්ණාදීන් පරාමර්‍ෂණය නොවූ, සිත එකඟ කර ගැනීමට සුදුසු, ආර්‍ය්‍ය කාන්ත ශීලයෙන් යුක්තවූයේ වේද, මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. මේ සතරවන පුණ්‍යොත්පත්තිය කුශලොත්පත්තිය වන්නේය.
’’මහණෙනි, සැප ගෙන දෙන්නාවූ, අග්‍ර රූපාදිය දෙන්නාවූ, සැප විපාකවූ, ස්වර්‍ගයෙහි උපදින්නාවූ, මේ සතර පුන්‍යොත්පත්තීහු, කුශලොත්පත්තීහු, ඉෂ්ට බව පිණිස, කැමති බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්.
’’තථාගතයන් වහන්නේ කෙරෙහි යමෙකුගේ ශ්‍රද්‍ධාව අචල වූයේද, මනාකොට පිහිටියේද, යමෙකුගේ ශීලයද යහපත්ද, ආර්‍ය්‍යයන්ට ප්‍රියද, පසසන ලද්දේද, යමෙකුට සංඝයා කෙරෙහි ප්‍රසාදය ඇත්තේද, දර්‍ශනය ඎජු වූයේද ඔහු නොදිලින්දෙකැයි කීහු. ඔහුගේ ජීවිතය නොසිස්ය. එසේ හෙයින් ශ්‍රද්‍ධාවෙහිද, ශීලයෙහිද, පැහැදීමෙහිද, ධර්‍මය දැනීමෙහිද, ඤාණවන්තයා බුදුන්ගේ අනුශාසනය සිහිකරමින් යෙදෙන්නේය.’’