අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(8) 3. අපණ්ණක වර්‍ගය

3. අසප්පුරිස ධම්ම සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ අසත් පුරුෂයයි දත යුතුයි. කවර කරුණු සතරකින්ද යත්.

’’මහණෙනි, මේ ලොකයෙහි අසත්පුරුෂ තෙම අනුන්ගේ යම් අගුණයක් වේද, එය නොඅසන ලද්දේ පහළ කරයි. ඇසූ දෙය ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද ප්‍රශ්ණයට නගන ලද්දේ අඩුනොවොට එයද වුවමනායයි සම්පූර්‍ණයෙන් විස්තරකොට අනුන්ගේ නුගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයයි දතයුතුයි.

’’මහණෙනි, නැවතද අසත් පුරුෂ තෙම අනුන්ගේ යම් ගුණයක් වේද, එය අසාද පහළ නොකරයි. නොඅසන ලද්ද ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩු නොකොට එයද වුවමනායයි සම්පූර්‍ණයෙන් විස්තර කොට අනුන්ගේ නුගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයයි දත යුතුයි.

’’මහණෙනි, නැවතද අනිකක් කියමි. අසත් පුරුෂ තෙම තමාගේ යම් අගුණයක් ඇද්ද, එය ඇසූ නමුත් පහළ නොකරයි. නොවිචාරණ ලද්ද ගැන කියනුම කවරේද? විචාරණ ලද්ද වනාහි ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩු නොකොට එයද වුවමනායයි සම්පූර්‍ණ නොකොට විස්තර නොකොට තමාගේ දෝෂය කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයෙකැයි දත යුතුයි.

’’මහණෙනි, නැවතද අනිකක් කියමි. අසත් පුරුෂ තෙම තමන්ගේ ගුණය යමක් වේද, එය විචාරණ ලද්දේද, පහළ කරයි. ඇසූ දේ ගැන ගැන කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්ණයට නගන ලද්දේ, අඩු නොකොට එයද වුවමනායයි සම්පූර්‍ණකොට විස්තර වශයෙන් තමාගේ ගුණය කියන්නේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ අසත්පුරුෂයෙකැයි දතයුතුයි. මහණෙනි, මේ සතර කාරණයෙන් යුක්තවූයේ අසත්පුරුෂයැයි දත යුතුයි.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ සත්පුරුෂයෙකැයි දතයුතු. කවර සතරකින්ද යත්, මහණෙනි, මේ ලොකයෙහි සත්පුරුෂ තෙම අනුන්ගේ යම් නුගුණයක් ඇද්ද, එය ඇසූයේ නමුත් ප්‍රකාශ නොකරයිද, නොවිචාරණ ලද්ද කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩුකොට එයද වුවමනායයි සම්පූර්‍ණ නොකොට විස්තර නැතිව අනුන්ගේ නුගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි දතයුතුයි.

’’මහණෙනි, නැවත අනිකක් කියනු ලැබේ. සත්පුරුෂ තෙමේ, අනුන්ගේ යම් ගුණයක් ඇද්ද, එය නොවිචාරණ ලද්දේ පහළ කරයි. විචාරණ ලද්දේ කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩු නොකොට, ඉතුරු නොකොට, සම්පූර්‍ණ නොකොට විස්තර වශයෙන් අනුන්ගේ ගුණය කියයි. මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි කියනු ලැබේ.

’’මහණෙනි, නැවතද අනිකක් කියමි. සත්පුරුෂ තෙම යමක් තමන්ගේ නුගුණයක් වේද, එය නොවිචාරණ ලද්දේද පහළ කරයි. විචාරණ ලද්දේ කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩු නොකොට, ඉතුරු නොකොට, සම්පූර්‍ණයෙන්, විස්තර වශයෙන් තමාගේ අගුණය කියන ලද්දේ වේද, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි දත යුතුයි.

’’මහණෙනි, නැවතද අනිකක් කියමි. යමක් තමන්ගේ ගුණයක් වේද, එය අසන ලද්දේද, පහළ නොකරයි. නොවිචාරණ දේ ගැන කියනුම කවරේද? අසන ලද්දේ වනාහි ප්‍රශ්න කරණ ලද්දේ අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්‍ණයෙන්, විස්තර නැතිව තමාගේ ගුණය කියන ලද්දේ වේ. මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂ යයි දත යුතුයි. මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූ සත්පුරුෂයා දත යුතුයි.’’

වධුකාසම සූත්‍රය

’’මහණෙනි, යම්කිසි ලේලියක් යම්කිසි රාත්‍රියක හෝ දවාලක හෝ ගෙන එන ලද්දී වේද, එකෙනෙහි මාමා කෙරෙහිද, නැන්දා කෙරෙහිද, ස්වාමියා කෙරෙහිද, යටත් පිරිසෙයින් දාස කර්‍මකාර පුරුෂයන් කෙරෙහිද, ඇගේ තියුණු ලජ්ජා භයක් ඇත්තේ වේද, ඕ තොමෝ මෑත කාලයෙහි ආශ්‍රයට පැමිණ, විශ්වාසයට පැමිණ, නැන්දාටද, මාමාටද, ස්වාමියාටද, ’නුඹලා කුමක් දනිත්ද, පහවව්ය’ යි කියයි.

’’මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් යම්කිසි රාත්‍රියක හෝ දවාලක හෝ ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේ වේද, එකෙණෙහි ඔහුට භික්‍ෂූන් කෙරෙහි හෝ භික්‍ෂුණීන් කෙරෙහි හෝ උපාසකයන් කෙරෙහි හෝ උපාසිකාවන් කෙරෙහි හෝ යටත් පිරිසෙයින් ආරාමයෙහි සාමණේරයන් කෙරෙහි හෝ තද ලජ්ජාවක්, භයක් එළඹ සිටියේ වේ. හෙතෙම මෑත භාගයෙහි ආශ්‍රයට පැමිණ, විශ්වාසයට පැමිණ, ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන්ටද, ’නුඹ වහන්සේලා කුමක් දනිද්ද, පහවව්ය’ යි කියන්නේය.

’’මහණෙනි, එසේ හෙයින්, අලුත ගෙනා ලේලි කෙනෙකුට සමාන සිතින් වාසය කරන්නෙමුයි මෙහිදී මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.’’