අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(8) 3. අපණ්ණක වර්‍ගය

9. පයුත්තවණිජ්ජා සූත්‍රය

’’ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණි සේක. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, යම් කරුණකින් මෙහි ඇතැම් කෙනෙකු යම්බඳු වෙළඳාමක් යෙදුවාහු සිඳෙන ස්වභාව වේද ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද? යම් හෙයකින් මෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහු අදහස් කළ පරිදි නොවේද, ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද? යම් කරුණකින් මෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහු අදහස් කළ පරිදි වේද, ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද? යම් කරුණකින් මෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහු අදහස් කළ ක්‍රමයටත් වැඩිවේද ?

’’ශාරිපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා පැමිණ, ’’ස්වාමීණි, ප්‍රත්‍යයෙන් යමක් කියන්නැයි ආරාධනා කරයි.

’’හෙතෙම යමකින් පැවරුයේ නම් එය නොදෙයි. ඉදින් හෙතෙම ඉන් චුතවූයේ මේ ආත්මයට පැමිණියේ නම් හෙතෙම යම් යම් වෙළඳාමක් යෙදුයේද එය ඔහුට සිඳෙන ස්වභාව වේ.

’’ශාරිපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා පැමිණ, ’’ස්වාමීණි, ප්‍රත්‍යයෙන් යමක් කියන්නැයි ආරාධනා කරයි. හෙතෙම යමකින් පැවරුයේද එය අදහස් කළ පරිදි නොදේ. හෙතෙම ඉදින් ඉන් චුතවූයේ මේ මනුෂ්‍ය ආත්මයට පැමිණියේද හෙතෙම යම් වෙළඳාමක් එය ඔහු අදහස් කළ පරිදි නොවේ.

’’ශාරිපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා පැමිණ, ’’ස්වාමීණි, ප්‍රත්‍යයෙන් යමක් කියන්නැයි ආරාධනා කරයි. එය අදහස් කළ පරිදි දෙයි. හෙතෙම ඉදින් ඉන් චුතවූයේ මේ ආත්මයට පැමිණේද හෙතෙම යම් වෙළඳමෙක් යොදයිද එය ඔහු අදහස් කළ පරිදි සිදුවේ.

’’ශාරිපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා පැමිණ, ’’ස්වාමීණි, ප්‍රත්‍යයෙන් යමක් කියන්නැයි ආරාධනා කරයි. හෙතෙම යමකින් පවරණ ලද්දේද එය අදහස් කළාටත් වැඩියෙන් දෙයි. හෙතෙම ඉදින් ඉන් චුතව මේ ආත්මයට පැමිණියේද හෙතෙම යම් යම් වෙළඳාමක් යොදයිද එය ඔහු අදහස් කළාටත් වඩා සැපයේ.

’’ශාරිපුත්‍රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුට යම්බඳු වෙළඳාමක් යෙදුවාහුද සිඳෙන ස්වභාව වේද, ශාරිපුත්‍රය, මේ ඊට හේතුය, මේ ඊට ප්‍රත්‍යය. ශාරිපුත්‍රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහුද අදහස් කළ පරිදි නොවේද, ශාරිපුත්‍රය, මේ ඊට හේතුය, ප්‍රත්‍යයය. ශාරිපුත්‍රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහුද අදහස් කළ පරිදි වේද මේ ඊට හේතුය, ප්‍රත්‍යය. ශාරිපුත්‍රය, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් යම්බඳු වෙළඳාමක් යෙදුවාහුද එය අදහස් කළාටත් වැඩියෙන් වේද මේ ඊට හේතුය ඊට ප්‍රත්‍යයයයි ’’ වදාළසේක.