අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(12) 2. අන්‍ධකවින්‍ද වර්‍ගය
4. අන්‍ධක වින්‍ද සූත්‍රය
’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ රට අන්‍ධක වින්‍ද නම් වනයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’ආනන්‍දය. යම් ඒ භික්‍ෂුහු නවකවූවාහු, පැවිදිවූ නොබෝ කල් ඇත්තාහු, මේ ශාසනයට අලුත පැමිණියාහු වෙද්ද, ආනන්‍දය, ඒ භික්‍ෂුහු තොප විසින් ධර්‍ම පසෙක්හි සමාදන් කරවිය යුත්තාහ. ඇතුළත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
’’කවර පසෙක්හිද යත්? ’ඇවැත්නි, එව්. තොපි සිල්වත් වව්. ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරවූවාහු, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කරව්. ස්වල්ප තරම් වරදවල භය දක්නා සුළු වූවාහු, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මවේයයි මෙසේ ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙහි සමාදන්ව හික්මවිය යුත්තාහ. ඇතුළත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ. ’’ඇවැත්නි, එව්. තෙමි ඉණද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇත්තාහු, දොරටු රක්නා සිහියෙන් යුක්තවූවාහු, නුවණින් යුත් සිහි ඇත්තාහු, රක්නා ලද සිත් ඇතිව, සිහියෙන් රක්නා ලද සිතින් යුක්තවූවාහු, වාසය කරව්’ යයි, මෙසේ ඉන්‍ද්‍රිය සංවර ශීලයෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුළත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ. ’ඇවැත්නි, එව්. තෙපි මඳ කථා ඇත්තාහු, කථා කෙළවර කරන්නාහු වව්’ යයි මෙසේ කථා කෙළවරෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුළත් කරවිය යුත්තාහ. පිහිටවිය යුත්තාහ. ඇවැත්නි, එව්. තෙපි ආරණ්‍යයක වව්. ආරණ්‍යයෙහි වානප්‍රස්ථ නම් ඉතා දුරවූ සෙනසුන් සේවනය කරව්’ යයි මෙසේ කයින් වෙන්ව වාසය කිරීමෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුළත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ. ’ඇවැත්නි, තෙපි එව්. සම්‍යක් දෘෂ්ටි ඇත්තෝ, යහපත් දැකීමෙන් යුක්තවූවෝ වව්’ යයි මෙසේ සම්‍යක් දර්‍ශනයෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුලත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ. යන කරුණු පසෙහිය.
’’ආනන්‍දය. යම් ඒ භික්‍ෂුහු නවකවූවාහු, පැවිදිවූ නොබෝ කල් ඇත්තාහු, මේ ශාසනයට අලුත පැමිණියාහු වෙද්ද, ආනන්‍දය, ඒ භික්‍ෂුහු තොප විසින් ධර්‍ම පසෙක්හි සමාදන් කරවිය යුත්තාහ. ඇතුළත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.