අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(15) 5. තිකණ්ටකී වර්‍ගය
3. සාරන්‍දද සූත්‍රය
’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහවන වෙහෙරෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ විසල් නුවරට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි වනාහි සාරන්‍දද නම් චෛත්‍ය ස්ථානයෙහි එක්ව හුන්නාවූ රැස්වූ පන්සියයක් පමණ ලිච්ඡවින්ගේ මේ අතුරු කථාව පහළවිය.
’’රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. කවර පසක්හුගේද යත්, හස්තිරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. අශ්වරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. මාණික්‍යරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. ස්ත්‍රීරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. ගෘහපතිරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. මේ පඤචවිධ රත්නයන්ගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේයයි.
’’ඉක්බිති ඒ ලිච්ඡවීහු මාර්‍ගයෙහි පුරුෂයෙකු තැබුවාහුය. ’එම්බා පුරුෂය, යම්සේ නුඹ වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දන්නෙහිද, එකල්හි අපට සැළකරව’ යි. ඒ පුරුෂ තෙම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේය. දැක, ඒ ලිච්ඡවීහු යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ ඒ ලිච්ඡවීන්ට මෙය කීයේය. ’පින්වත්නි, ඒ මේ අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ භාග්‍යවතුන් වහන්සේ වඩිනා සේක. එයට දැන් කල් දනිව්ය’ යි.
’’ඉක්බිති ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව සිටියාහුය. එකත්පස්ව සිටියාවූ ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළාහුය. ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සාරංදද නම් චෛත්‍යය යම් තැනෙක්හිද, අනුකම්පා පිණිස එතැනට පැමිණෙනසේක් නම් මැනව’’ යි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් ඉවසූ සේක.
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සාරන්‍දද නම් චෛත්‍යය යම් තැනෙක්හිද. එතැනට පැමිණි සේක. පැමිණ, පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ වනාහි භාග්‍යවතුන් වහන්සේ ඒ ලිච්ඡවීන්ට මෙය වදාළසේක. ’’ලිච්ඡවීනි, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නහුද, කිනම් අතුරු කථාවක් තොප විසින් අඩාල කරණ ලද්දීද?’’
’’ස්වාමීනි, මෙහි එක්ව හුන්නාවූ, රැස්ව හුන්නාවූ අපගේ මේ අතුරු කතාව පහළවිය. ’’රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. කවර පසක්හුගේද යත්, හස්තිරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. අශ්වරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. මාණික්‍යරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. ස්ත්‍රීරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. ගෘහපතිරත්නයාගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. මේ පඤචවිධ රත්නයන්ගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේයයි.
’’කාමයන්හි අදහස් ඇති ලිච්ඡවීවූ තොපගේ ඒකාන්තයෙන් කාමයම අරභයා අතුරු කථාව පහළවිය. ලිච්ඡවීනි, රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. කවර පසක්හුගේද යත්, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේ. තථාගතයන් වහන්නේ විසින් දේශනාකරණලද ධර්මවිනය දේශනා කරන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභ වේ. තථාගතයන් විසින් වදාරණලද ධර්ම විනය දේශනා කළ කල්හි දැනගන්නා පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභ වේ. තථාගතයන් විසින් වදාරණලද ධර්ම විනය දෙසූ කලහි දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන් පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභ වේ. කෘතඥවූ කළ උපකාර දන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභ වේ. ලිච්ඡවීනි, මේ පඤචවිධ රත්නයන්ගේ පහළවීම ලෝකයෙහි දුර්ලභ වේය’’ යි වදාළ සේක.