අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(17) 2. අඝාත වර්‍ගය

2. සාරිපුත්ත ආඝාතක විනය සූත්‍රය

’’එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, ’’ඇවැත්නි මහණෙනි,’’ යි භික්‍ෂූන්ට ඇමතූ සේක. ’’ඇවැත්නි’’ කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.

’’ඇවැත්නි, යම් අරමුණක භික්‍ෂුහුගේ උපන්නාවූ ක්‍රොධය සියලු ආකාරයෙන් දුරුකළ යුතුද, ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.

’’කවර පසක්ද යත්? ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ.

’’ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ වේද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ.

’’ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වේද, කලින් කල චිත්තයා සම්බන්‍ධ අවකාශයක්, චිත්තයා සම්බන්‍ධ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ.

’’ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, කලින් කල චිත්තයාගේ අවකාශයකුක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් නොලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ.

’’ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම පිරිසිදුවූ කයින් හැසිරීම ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේ වේද, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ.

’’ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රොධය දුරු කටයුතුද? ඇවැත්නි, යම් සේ පංසුකූලික භික්‍ෂුවක් තෙම වීථියෙහි රෙදි කඩක් දැක, වම් පයින් මැඩ, දකුණු පයින් දිග හැර එහි යම් තද කොටසක් වේද, එය පලා ගෙණ යන්නේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් මේ පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේද, මොහුගේ යම් අපිරිසිදු කයින් හැසිරීම් බවක් වේද, ඒ කාලයෙහි මොහුගේ එය මෙනෙහි නොකටයුතුයි. මොහුගේ යම් පිරිසිදු වචනයෙන් හැසිරීම් බවක් වේ නම් ඕ තොමෝ එකල්හි මෙනෙහි කළ යුත්තීය. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ.

’’ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ, පිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ වේද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රොධය දුරු කටයුතුද? ඇවැත්නි, යම් සේ පොකුණක් සෙවෙල්, පරඬැල්වලින් ගැවසුනී වේද, ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුනාවූ. ක්ලාන්තවූ, හටගත් තෘෂ්ණා ඇත්තාවූ, පැන් බොනු කැමතිවූ පුරුෂයෙක් එන්නේද, හෙතෙම ඒ පොකුණට බැස, දෙඅතින් එහා මෙහා සෙවෙල් පරඬැල් ඉවත්කොට. හස්තපුටයෙන් පානයකොට යන්නේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් මේ පුද්ගලයෙක් තෙම, අපිරිසිදු වචනයෙන් හැසිරීම ඇත්තේ, පිරිසිදු කයින් හැසිරීම ඇත්තේද, මොහුගේ යම් අපිරිසිදු වචනයෙන් හැසිරීම් බවක් වේද, ඕ තොමෝ එකල්හි මෙනෙහි නොකට යුත්තීය. මොහුගේ යම් පිරිසිදු කයින් හැසිරීම් ඇති බවකුත්, වේනම් එකල්හි මෙනෙහි කට යුත්තීය. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ.

’’ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වේද, කලින් කල චිත්තයා සම්බන්‍ධ අවකාශයක්, චිත්තයා සම්බන්‍ධ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රොධය දුරු කටයුතුද? ඇවැත්නි, යම්සේ ගව පියවරෙහි ස්වල්පයක් ජලයක් වේද, ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුනාවූ. ක්ලාන්තවූ, හටගත් තෘෂ්ණා ඇත්තාවූ, පැන් බොනු කැමතිවූ පුරුෂයෙක් එන්නේද, ඕහට මෙබඳු සිතක් වන්නේය. ’මේ ගව පියවරෙහි ජලය වනාහි ස්වල්පය. ඉදින් මම හස්තපුටයෙන් හෝ බොන්නෙම්ද, භාජනයෙනක් හෝ කළඹන්නෙම්ද, එය අවුල් කරන්නෙම්ද, එය නොපිය යුත්තක්ද කරන්නෙමි. මම දෑතින් හා දෙදනින් හෙව ගවයෙකු බොන්නාක් මෙන් පානයකොට යන්නෙම් නම් යෙහෙකැ’ යි හෙතෙම දෑතින් හා දෙදනින් හෙව ගවයෙකු බොන්නාක් මෙන් පානයකොට යන්නේද, ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වේද, කලින් කල චිත්තයා සම්බන්‍ධ අවකාශයක්, චිත්තයා සම්බන්‍ධ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ. මොහුගේ යම් අපිරිසිදු කයින් හැසිරෙන බවක් වේද, ඕ තොමෝ එකල්හි මෙනෙහි නොකට යුත්තීය. මොහුගේ යම් අපිරිසිදු වචනයෙන් හැසිරීම් බවකුක් වේද, ඕ තොමෝද එකල්හි මෙනෙහි නොකට යුත්තීය. හෙතෙම කලින් කල චිත්තයාගේ යම් අවකාශයකුත්, චිත්තයාගේ යම් ප්‍රසාදයකුත්, ලබයිද, මොහුගේ එයම එකල්හි මෙනෙහි කටයුතුයි. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ.

’’ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, කලින් කල චිත්තයාගේ අවකාශයකුක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් නොලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රොධය දුරු කටයුතුද? ඇවැත්නි, යම්සේ පුරුෂයෙක් හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ, දික් මගට පිළිපන්නේ වේද, ඔහුගේ ඉදිරියෙනුත් ගම දුරවන්නේ වේද, පසු භාගයෙනුත් ගම දුර වන්නේද, හෙතෙම හිතවූ භෝජන නොලබන්නේ නම්, හිතවූ බෙහෙත් නොලබන්නේ නම්, සුදුසු උපස්ථායකයෙකු නොලබන්නේ නම්, ගමෙහි අධිපතියෙකු නොලබන්නේ නම්, දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නාවූ එක්තරා පුරුෂයෙක් ඔහු දක්නේද, හෙතෙම ඒ පුරුෂයා කෙරෙහි කරුණාව ඇති බවම පිහිටුවන්නේය. දයාව ඇති බවම පිහිටුවන්නේය. අනුකම්පාවම පිහිටුවන්නේය. මේ පුරුෂ තෙම හිතවූ භෝජන ලබන්නේ නම්, හිතවූ බෙහෙත් ලබන්නේ නම්, සුදුසු උපස්ථායකයෙකු ලබන්නේ නම්. ගමෙහි අධිපතියෙකු ලබන්නේ නම් ඉතා යෙහෙක ඊට හේතු කවරේද? මේ පුරුෂ තෙම හානියට, ව්‍යසනයට නොපැමිණේවායි. ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් මේ ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අපිරිසිදුවූ කයින් හැසිරීම් ඇත්තේ, අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේ වෙයිද, කලින් කල චිත්තයාගේ අවකාශයකුක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් නොලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද කරුණාව ඇති බවම පිහිටුවිය යුතුයි. මේ ආයුෂ්මත් තෙමේ කයෙහි දුශ්චරිතය හැර කයෙහි සුචරිතය වඩන්නේ නම්, වචනයෙහි දුශ්චරිතය හැර වචනයෙහි සුචරිතය වඩන්නේ නම්, සිතෙහි දුශ්චරිතය හැර සිතෙහි සුචරිතය වඩන්නේ නම් ඉතා යෙහෙක. ඊට හේතු කවරේද, මේ ආයුෂ්මත් තෙම් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ නරකයෙහි නූපදීවායි ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ.

’’ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම පිරිසිදුවූ කයින් හැසිරීම ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේ වේද, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ. කෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරු කටයුතුද? ඇවැත්නි, යම් සේ ප්‍රසන්න ජලය ඇත්තාවූ, මිහිරි ජලය ඇත්තාවූ, සිහිල් දිය ඇත්තාවූ, සුදු පැහැ ඇත්තාවූ, මනාකොට ඇත්තාවූ, සිත්කළුවූ, නොයෙක් ගස්වලින් ගැවසී ගත්තාවූ පොකුණක් වේද, ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුණාවූ, ක්ලාන්තවූ, හටගත් තෘෂ්ණාව ඇත්තාවූ, පැන් බොනු කැමතිවූ පුරුෂයෙක් එන්නේද, හෙතෙම ඒ පොකුණට බැස, ස්නානය කොටද, පැන් බීද, ගොඩ නැඟී එහිම රුක් සෙවණෙහි හිඳින්නේ හෝ නිදන්නේ හෝ වන්නේද, ඇවැත්නි, මෙපරිද්දෙන්ම ඇවැත්නි, මේ ශාසනයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම පිරිසිදුවූ කයින් හැසිරීම ඇත්තේ, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේ වේද, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ. මොහුගේ යම් පිරිසිදුවූ කයින් හැසිරීම් ඇති බවකුත් වේද, ඕ තොමෝ මොහුගේ එකල්හි සිහි කටයුක්තීය. මොහුගේ යම් පිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇති බවකුත් වේද, ඕ තොමෝද මොහු පිළිබඳව එකල්හි සිහි කටයුක්තීය. හෙතෙම කලින් කල යම් සිතේ අවකාශයකුත් සිතේ ප්‍රසාදයකුත් ලබාද, එයද මොහු පිළිබඳව එකල්හි මෙනෙහි කටයුතුයි. ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ක්‍රොධය දුරු කටයුතු වේ. ඇවැත්නි, හාත්පසින් ප්‍රසාද එළවන්නාවූ පුද්ගලයා නිසා සිත පහදියි.

’’ඇවැත්නි, මොහු වනාහි ඇවැත්නි, යම් අරමුණක භික්‍ෂුහුගේ උපන්නාවූ ක්‍රොධය සියලු ආකාරයෙන් දුරුකළ යුතුද, ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.