අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(20) 5. බ්‍රාහ්මණ වර්‍ගය (සොණ වර්‍ගය)

7. වස්සන්තරාය සූත්‍රය

’’මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, එබඳුවූ මේ වර්‍ෂාවට අන්තරායයෝ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? මහණෙනි, මතු ආකාශයෙහි තේජෝ ධාතුව කිපෙයි. එයින් උපන්නාවූ මේඝයෝ පහව යෙත්. මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, මේ පළමුවන වර්‍ෂාවගේ අන්තරායය වේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මතු ආකාශයෙහි වායෝ ධාතුව කිපෙයි. එයින් උපන්නාවූ මේඝයෝ පහව යෙත්. මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, ඒ මේ දෙවන වර්‍ෂාවගේ අන්තරායය වේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. රාහු අසුරේන්‍ද්‍ර තෙමේ අත්ලෙන් ජලය පිළිගෙණ මහමුහුදෙහි හැර දමයි. මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, ඒ මේ තුන්වන වර්‍ෂාවගේ අන්තරායය වේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. වස්සවළාහක නම් දෙවියෝ ප්‍රමාදවූවාහු වෙත්. මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, ඒ මේ සතරවන වර්‍ෂාවගේ අන්තරායය වේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මනුෂ්‍යයෝ අධාර්මිකයෝ වෙද්ද, මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, ඒ මේ පසවන වර්‍ෂාවගේ අන්තරාය වේ යන පසයි.

’’මහණෙනි, නිමිති කියන්නාහු යමක් නොදනිද්ද, නිමිති කියන්නවුන්ගේ ඇස යම් තැනෙක්හි කාර්‍ය්‍යක්‍ෂම නොවේද, එබඳුවූ මේ වර්‍ෂාවට අන්තරායයෝ පසක් වෙත්.