අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

3. පඤ්චංගික වර්‍ගය

3. ජාතරූපක්කිලෙස සූත්‍රය

’’මහණෙනි, යම්බඳු කෙලෙසීම්වලින් කෙලෙසුනාවූ ස්වර්‍ණය මෘදු නොමවේද, කර්‍මයට සුදුසු නොවේද, පැහැ විහිදීම ඇත්තක් නොවේද, නැමෙන ස්වභාව ඇත්තක් නොවේද, කර්‍මාන්තයට මනාකොට නොපැමිණේද,

’’එබඳුවූ ස්වර්‍ණයාගේ මේ කෙළෙසීම් පසක් වෙත්. කවර පසක්ද යත්, යකඩය, ලෝහය, ඊයම්ය, කළු ඊයම්ය, රිදීය යන පසයි.

’’මහණෙනි, යම්බඳු කෙලෙසීම්වලින් කෙලෙසුනාවූ ස්වර්‍ණය මෘදු නොමවේද, කර්‍මයට සුදුසු නොවේද, පැහැ විහිදීම ඇත්තක් නොවේද, නැමෙන ස්වභාව ඇත්තක් නොවේද, කර්‍මාන්තයට මනාකොට නොපැමිණේද, එබඳුවූ ස්වර්‍ණයාගේ මේ පස වනාහි උපෙක්‍ෂා වෙත්.

’’මහණෙනි, යම් තැනෙක පටන් ස්වර්‍ණය මේ කෙළෙසීම් පසින් මිදුනේ වේද, ඒ ස්වර්‍ණය මෘදු වූයේද, කර්‍මක්‍ෂම වූයේද, ප්‍රභාශ්වර වූයේද, නැමීම ඇත්තේ මනාකොට කර්‍මාන්තයට පැමිණේද, යම් යම් පළඳනා විශෙෂයක් කිරීමට කැමති වේද, ඉදින් මුදුවක් පිණිසද, ඉදින් කුණ්ඩලාභරණයක් පිණිසද, ඉදින් ග්‍රීවාභරණයක් පිණිසද, ඉදින් රන් මාලයක් පිණිසද වේනම්, ඔහුට ඒ අර්ත්‍ථය සිද්‍ධ කෙරේද,

’’මහණෙනි, මෙපරිද්දෙන්ම, යම් කෙළෙසීම්වලින් කිළුටුවූ සිත නොම මෘදු වේද, කර්‍මක්‍ෂම නොවේද, ප්‍රභාශ්වර වූවක් නොවේද, නැමීම් ඇත්තක් නොවේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරිම පිණිස මනාකොට එකඟවනු නොලැබේද, එබඳුවූ මේ චිත්තයාගේ උපක්ලේශ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? කාමාශාවය, ක්‍රොධය, සිතෙහි හා කයෙහි අලස බවය, උඬඟු බව හා කුකුස් බවය, සැකය යන පසයි.

’’මහණෙනි, මෙපරිද්දෙන්ම, යම් කෙළෙසීම්වලින් කිළුටුවූ සිත නොම මෘදු වේද, කර්‍මක්‍ෂම නොවේද, ප්‍රභාශ්වර වූවක් නොවේද, නැමීම් ඇත්තක් නොවේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරිම පිණිස මනාකොට එකඟවනු නොලැබේද, එබඳුවූ මේ චිත්තයාගේ උපක්ලේශ පසක් වෙත්.

’’මහණෙනි, යම් හෙයකින් වනාහි සිත මේ කෙළෙසීම් පසින් මිදුනේ වේද? ඒ සිත මෘදු වූයේද, කර්‍මක්‍ෂම වූයේද, ප්‍රභාශ්වර වූයේද, නොබිඳින්නේද, ආශ්‍රවයන්ගේ නැසීමට මනාකොට එකඟවේද, විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කටයුතුවූ යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස සිත එළවාද, ඒ ඒ ධර්මයෙහිම, ඒ ඒ කරුණ ඇති කල්හි ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

’’ඉදින් හෙතෙම කැමති නම් අනෙකප්‍රකාරවූ ඉර්ධි විධිය ලබන්නේය. ( මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 6, 8 ඡේදයේ ’’එකෙක්ව බොහෝ සේ වෙති’’ යන තැන සිට යෙදිය යුතුයි. )

’’ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ තන්හිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

( මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 70 ඡේදයේ ’’දිව්‍ය කණ ....’’ යන තැන සිට යෙදිය යුතුයි. ) ශබ්ද දෙක අසන්නේය. ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ තන්හිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

’’ඉදින් හෙතෙම කැමති වේනම්, අන්‍ය සත්ත්‍වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත ( මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 72 ඡේදයේ ’’තම සිතින්’’ යන තැන සිට යෙදිය යුතුයි. ) ඒ ඒ කරුණ ඇති කල්හි ඒ ඒ තන්හිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

’’ඉදින් හෙතෙම කැමති වේ නම්, අනෙක ප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන්නේය. ( මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 74 ඡේදයේ ’’එක් ජාතියක්ද’’ යන තැන සිට යෙදිය යුතුයි. ) මෙසේ ඒ ඒ කාරණය ඇති කල්හි, ඒ ඒ තන්හිම ප්ර්‍‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ.

’’ඉදින් හෙතෙම කැමති වේ නම්, පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ, දිව්‍යවූ ඇසින් ( මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 75 ඡේදයේ ’’හේ නොයෙක් පෙර විසීම්’’ යන තැන සිට යෙදිය යුතුයි. ) ඒ ඒ කාරණය ඇති කල්හි, ඒ ඒ තන්හිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ. ඉදින් හෙතම කැමැති වේ නම්, ආශ්‍රවයන් නැසීමෙන් ( මෙහි දීඝ නිකායේ 2 සූත්‍රයේ 78 ඡේදයේ ’’ඥානය පිණිස හිත’’ යන තැන සිට යෙදිය යුතුයි. ) ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නේයයි ඒ ඒ කාරණය ඇති කල්හි ඒ ඒ තන්හිම ප්‍රත්‍යක්‍ෂයෙන් සුදුසු බවට පැමිණේ’’ යයි වදාළ සේක.