අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
1. ආහුණෙය්‍ය වර්‍ගය
1. උපෙක්ඛාහුණෙය්‍ය සූත්‍රය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි’’ යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු. ’’පින්වතුන් වහන්සැ’’ යි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ,
’’මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
’’කිනම් කරුණු සයකින්ද යත් ? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, කණින් ශබ්දයක් අසා සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, නාසයෙන් ගඳ සුවඳක් ආඝ්‍රාණය කොට සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, දිවෙන් රසයක් විඳ සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, ශරීරයෙන් ස්පර්‍ශයක් දැනී සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, මනසා ධම්මං විඤ්ඤා සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද,
’’මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
’’භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.’’