අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
2. සාරාණීය වර්‍ගය
10. දුතිය මරණසති සූත්‍රය
’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඇමතූ සේක. ’’මහණෙනි, මරණසතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්පල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ වෙයි. නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි.
’’මහණෙනි, යුෂ්මත්හු මරණ සතිය වඩව්.’’ මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් මෙය කීයේය. ’’ස්වාමීනි, මම මරණ සතිය වඩමි.’’ යනුයි.
’’මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?’’
’’ස්වාමීනි, මට මෙහි මෙසේ අදහස් වෙයි. ’මමරෑ දාවල් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහි කරන්නෙම් නම් ඉතා යෙහෙක. ඒකාන්තයෙන් මා විසින් බොහෝ දේ කරණ ලද්දේය.’ යනුයි. ස්වාමීනි මම මෙසේ මරණ සතිය වඩමි.’’.
අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.’’ යනුයි. ’’මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?’’
’’ස්වාමීනි, මට මෙසේ අදහස් වෙයි. ’මම දවසක් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිකරන්නෙම් නම් ඉතා යෙහෙක. මා විසින් බොහෝ දේ කරණ ලද්දේය.’ ස්වාමීනි මම මෙසේ මරණ සතිය වඩමි.’’.
අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.’’ යනුයි. ’’මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?’’
’’ස්වාමීනි, මට මේ අදහස වෙයි. ’මම යම් අතර කාලයක් ජීවත්වන්නෙම් ඒ අතර කාලයෙහි එක් පිණ්ඩාහාරයක් වළඳමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිකරන්නෙම් නම් එය යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය. මම මෙසේ මරණ සතිය වඩමි.’’
’’අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.’’ යනුයි. ’’මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?’’ ’’ස්වාමීනි, මට මේ අදහස වෙයි. ’මම යම් අතර කාලයක් ජීවත් වන්නෙම් ඒ අතර කාලයක බත් පිඩු හතරක් පහක් මනාසේ විකා ගිලිමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිකරන්නෙම් නම් එය යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය. යනුයි. ස්වාමීනි, මම මෙසේ මරණ සතිය වඩමි.’’
’’අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.’’ යනුයි. ’’මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?’’ ’’ස්වාමීනි, මට මේ අදහස වෙයි. ’මම යම් අතර කාලයක් ජීවත් වන්නෙම් ඒ අතර කාලයෙහි එක බත් පිඩුවක් මනාසේ විකා ගිලිමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිකරන්නෙම් නම් යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය. යනුයි.
’’අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.’’ යනුයි. ’’මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?’’ ආශ්වාසකොට ප්‍රශ්වාස කරමි. ප්‍රශ්වාසකොට ආශ්වාස කරමි. අන්‍යවූද භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, මමද මරණ සතිය වඩමි.’’ යනුයි. ’’මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද ?’’ ’’ස්වාමීනි, මට මෙසේ අදහස් වෙයි. ’මම දවසක් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිකරන්නෙම් නම් ඉතා යෙහෙක. මා විසින් බොහෝ දේ කරණ ලද්දේය.’ ස්වාමීනි මම මෙසේ මරණ සතිය වඩමි.’’.
’’මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට මෙසේ වදාළ සේක. ’’මහණෙනි, යම් මේ භික්‍ෂුවක් ’මමරෑ දාවල් ජීවත් වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහි කරන්නෙම් නම් යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේයයි මෙසේ මරණ සතිය වඩාද, මහණෙනි, යම් මේ භික්‍ෂුවක් ’මම දවසක් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිකරන්නෙම් නම් යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.’යි මෙසේ මරණ සතිය වඩාද, මහණෙනි, යම් භික්‍ෂුවක් ’මම යම් අතර කාලයක් ජීවත්වන්නෙම් ඒ අතර කාලයෙහි එක් පිණ්ඩාහාරයක් වළඳමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිකරන්නෙම් නම් එය යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.’යි මෙසේ මරණ සතිය වඩාද, මහණෙනි, යම් භික්‍ෂුවක් ’මම යම් අතර කාලයක් ජීවත් වන්නෙම් ඒ අතර කාලයෙහි බත් පිඩු හතරක් පහක් මනාසේ විකා ගිලිමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිකරන්නෙම් නම් එය යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.යි. මෙසේ මරණ සතිය වඩාද, මහණෙනි, මේ භික්‍ෂූහු ප්‍රමාදව වාසය කරත්. ආශ්‍රවයන්ගේ ක්‍ෂය පිණිස මෝඩ මරණ සතිය වඩත්. මහණෙනි, යම් භික්‍ෂුවක් ’මම යම් අතර කාලයක් ජීවත් වන්නෙම් ඒ අතර කාලයෙහි එක බත් පිඩුවක් මනාසේ විකා ගිලිමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිකරන්නෙම් නම් යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.යි. මරණ සතිය වඩාද, මහණෙනි, යම් භික්‍ෂුවක් ’මම යම් අතර කාලයක් ජීවත්වන්නෙම් නම් ඒ අතර ආශ්වාසකොට ප්‍රශ්වාස කරමි. ප්‍රශ්වාසකොට ආශ්වාස කරමි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිහිකරන්නෙම් නම් යෙහෙක. මවිසින් බොහෝ දේ කරණ ලද්දේය.යි මරණ සතිය වඩාද, මහණෙනි, මේ භික්‍ෂූහු අප්‍රමාදව වාසය කරත්. ආශ්‍රවයන්ගේ ක්‍ෂය පිණිස ඥානවන්තවූ මරණ සතිය වඩත්.
’’මහණෙනි, එබැවින් මෙහිලා මෙසේ හික්මිය යුතුයි. අප්‍රමාදව වාසය කරන්නෙමු. ආශ්‍රවයන්ගේ ක්‍ෂය පිණිස ඥානවන්තවූ මරණ සතිය වඩන්නෙමු’’ යි මහණෙනි, යුෂ්මතුන් විසින් මෙසේ හික්මිය යුතුයි.’’
දෙවැනි සාරාණීය වර්‍ගය නිමි.