අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

7. මහා වර්‍ගය

7. භාවනානුයුත්ත සූත්‍රය

’’මහණෙනි, භාවනාවෙහි නොයෙදී වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් උපදනේය. (එනම්) ’ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන මාගේ සිත මිදෙන්නේ නම් යෙහෙක’ (යනුවෙනි.) ඉක්බිති ඔහුගේ ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන සිත නොමිදේමය. එයට හේතු කවරේද? නොවඩන ලද බැවිනැයි කියයුතු වන්නේය. කවරකගේ නොවැඩීමෙන්ද?

’’සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (නොවැඩීමෙනි.)

’’මහණෙනි, (1) අටක් හෝ, දශයක් හෝ, දොළසක් හෝ, බිජුවට වෙද්ද, ඒවා කිකිළිය මනාකොට එහි සයනය කොට නොරකින ලද්දේද, මනාකොට උණුසුම් කරණ ලද්දේ නොවේද, මනාකොට පරිහරණය කරණ ලද්දේ නොවේද, මෙසේ ඒ කිකිළියට කිසියම් අදහසක් වන්නේය. (2) (එනම්) මාගේ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදනේ නම් යෙහෙක’ (යනුවෙනි.) එසේ නමුදු ඒ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදින්ට නුසුදුසුමය. එයට හේතු කවරේද? (3) මහණෙනි, ඒ එසේමය. ඒ කිකිළියගේ බිජුවට මනාකොට එය මත ලැග නොරැක්කාහු වෙති. මනාකොට උණුසුම් නොකරණ ලද්දාහු වෙති. මනාකොට පරිහරණය නොකරණ ලද්දාහු වෙති.

’’මහණෙනි, එපරිද්දෙන්ම භාවනාවෙහි නොයෙදෙමින් වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් උපදනේය. (එනම්) ’ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන මාගේ සිත මිදෙන්නේ නම් අනේ යෙහෙක’ යනුවෙනි. එසේ නමුත් ඔහුගේ සිත ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන නොමිදෙන්නේය. එයට හේතු කවරේද? ඔහු විසින් නොවඩන ලද බැවිනැයි කිය යුතුය. කවරක් නොවඩන ලද බැවින්ද සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (නොවැඩීමෙනි.)

’’මහණෙනි, භාවනාවෙහි යෙදෙමින් වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් නූපදනේද, ’මාගේ සිත දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් යෙහෙක’ යනුවෙනි. ඉක්බිති ඔහුගේ සිත ආශ්‍රවයන් දැඩිව නොගෙන මිදෙන්නේය. ඊට හේතු කවරේද? (2) වඩන ලද බැවිනැයි කියයුතුය. කුමක් වඩන ලද බැවින්ද සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (වැඩීමෙනි.)

’’මහණෙනි, යම්සේ කිකිළියගේ බිජුවට අටක් හෝ, දශයක් හෝ, දොළසක් හෝ වෙද්ද, ඒවා කිකිළිය විසින් එහි මත ලැග රැක්කාහු, මනාකොට උණුසුම් කරණ ලද්දාහු, මනාකොට පරිහරණය කරණ ලද්දාහු වෙති. ඒ කිකිළියට කිසියම් මෙබඳු අදහසක් නූපදනේය. (එනම්) මාගේ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදනේ නම් යෙහෙක’ (යනුවෙනි.) එසේ නමුදු ඒ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදින්ට නුසුදුසුමය. එයට හේතු කවරේද? මහණෙනි, කිකිළියගේ බිජුවට එහි මත ලැග රකින ලද්දාහු, උණුසුම් කරණ ලද්දාහු මනාකොට පරිහරණය කරණ ලද්දාහු වෙති.

’’මහණෙනි, භාවනාවෙහි යෙදෙමින් වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් නූපදනේද, ’මාගේ සිත දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් යෙහෙක’ යනුවෙනි. ඉක්බිති ඔහුගේ සිත ආශ්‍රවයන් දැඩිව නොගෙන මිදෙන්නේය. ඊට හේතු කවරේද? එසේ නමුත් ඔහුගේ සිත වඩන ලද බැවිනැයි කිය යුතුයි. කුමක් වඩන ලද බැවින්ද සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (වැඩීමෙනි.)

’’මහණෙනි, යම් සේ ලී අසින්නාට හෝ ඔහුගේ අතවැසියාට හෝ වෑ මිට පෙනේමය. ඇඟිලි ලකුණු පෙනේමය. එහුට මෙබඳු ඥානයක් නොවෙයි. (එනම්) අද මෙපමණ වෑ මිට ගෙවුණේ විය. ඊයේ මෙපමණය. පෙරේදා මෙපමණය. ඉක්බිති, ඔහුට ගෙවුණෙහි ගෙවුණේයයි ඥානය ඇතිවෙයි.

’’මහණෙනි, එපරිද්දෙන්ම භාවනාවෙහි යෙදෙමින් වෙසෙන්නාවූ භික්‍ෂුවට කිසියම් මෙබඳු ඥානයක් නොවෙයි. ’අද මෙපමණ මාගේ ආශ්‍රවයෝ ක්‍ෂයවූහ. ඊයේ මෙපමණකින්ය. පෙරේදා මෙපමණකින්ය.’ ඉක්බිති ඔහුට ක්‍ෂයවූවෙහි, ක්‍ෂයවූයේය යන ඥානය වෙයි. මහණෙනි, යම්සේ සමසක් ජලයෙන් වටව තිබුණ, හේමන්ත කාලයෙහි ගොඩ තබන ලද, වේවැල් වලින් බඳින ලද, මුහුදු නැව, අවු සුළං වැදුනේ, මනාකොට වැසි කාලයෙහි මහා මේඝයෙන් තෙමුණේ, පහසුවෙන්ම ඒ බැදුම් නැතිවී යත්. කුණු වෙත්. මහණෙනි, එපරිද්දෙන්ම භාවනාවෙහි යෙදුණ භික්‍ෂුවට පහසුවෙන්ම සංයෝජනයන් නැතිවෙත්. කුණුවී යත්.’’