අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
1. මෙත්තා වර්‍ගය
2. ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය
’’මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණවීම පිණිසද, මේ කරුණු අට හේතු වෙත්.
’’ඒ අට කෙසේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ශාස්තෲන් වහන්සේ හෝ ගරු කටයුතු අන්‍ය භික්‍ෂුවක් හෝ ආශ්‍රය කොට වෙසේද, යමෙක්හු කෙරෙහි ඔහුගේ තියුණුවූ ලජ්ජා භය එළඹ සිටියේ වේද, ප්‍රේමයක් ගෞරවයත් එළඹ සිටියේ වේද, මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණවීම පිණිසද, මේ කරුණු අට හේතු වෙත්.
’’ඒ මහණතෙම ඒ ශාස්තෲන් වහන්සේ හෝ ගරු කටයුතු එක්තරා භික්‍ෂුවක් හෝ ආශ්‍රයකොට වෙසේද, යමෙක්හු කෙරෙහි ඔහුගේ තියුණුවූ ලජ්ජා භය එළඹ සිටියේ වේද, ප්‍රේමයත් ගෞරවයත් එළඹ සිටියේ වේද, හෙතෙම කලින් කල (උන් වහන්සේ වෙත එළඹ), ’ස්වාමීන් වහන්ස. ’. මෙය කෙසේද, මෙහි අර්ත්‍ථය කෙසේදැ’ යි පූර්‍වාපර සන්‍ධි විචාරයි. සැක තැන් විචාරයි. (එකල්හි) ඔහුට ඒ පින්වතුන් වහන්සේලා අප්‍රකට අර්ත්‍ථය ප්‍රකාශ කෙරෙත්. ප්‍රකාශ නොකළ අර්ත්‍ථය ප්‍රකාශ කෙරෙත්. අනේක ප්‍රකාරවූ සැක කටයුතු ධර්මයන්හි සැක දුරු කෙරෙත්. මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) දෙවෙනි හේතුවයි.
මහණතෙම ඒ ධර්‍මය අසා කාය ප්‍රකාශයෙන්ද, චිත්ත ප්‍රකාශයෙන්ද යන දෙයාකාරවූ ප්‍රකාශයෙන් (විදර්‍ශනා වීමට හේතු) සපයයි. මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) තුන්වෙනි හේතුවයි.)
සිල්වතෙක් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් හික්මී වෙසේද, භික්‍ෂුන් අතර හැසිරියයුතු ආකාරයත්, ගොදුරු ගම්හි හැසිරියයුතු ආකාරයත් දැන ඉගෙන පිළිපදිමින් ස්වල්ප මාල්‍රවූ වරදෙහි පවා භය දකින ස්වභාවය ඇතිව ශික්‍ෂාපද සමාදන්ව එහි පිළිපදිමින් වෙසේද, මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) හතරවෙනි හේතුවයි.)
ධර්‍ම විනය උගතෙක් වේද, උගත් දෙය මතක තබා ගත්තෙහි වේද. උගත් දෙය සිතෙහි තැන්පත් කර ගත්තෙක් වේද, යම්කිසි ධර්‍මයක් මුල, මැද, අග යන තුන් තන්හි නිවැරදිව. යහපත්ව දේශනා කරණ ලදද, (ඒ දේශනාවෙන්) පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවු ධර්‍මයෝ මොහු විසින් ඉගෙන ගන්නා ලද්දේ වේද, ඉගෙනගත් ධර්‍මය සිත තබා ගත්තේ වේද, වචනයෙන් පුරුදු කරණ ලද්දේ වේද. පිළිවෙළ නොවරදවා සිතින් පරීක්‍ෂා කරණලද්දේ වේද, විදර්‍ශනා ප්‍රඥාවෙන් යහපත්ව අවබෝධ කරණ ලද්දේ වේද, මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) පස්වැනි හේතුවයි.)
’’අකුශල ධර්‍මයන් දුරුකිරීම පිණිසද, කුශල ධර්‍මයන් රැස්කිරිම පිණිසද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කෙරේද, වීර්‍ය්‍යවන්තවූයේ දැඩිවූ පරාක්‍රමයෙන් යුක්තවූයේ, නොපසුබස්නා වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) සවැනි හේතුවයි.)
සඞ්ඝයා විසින් අණ නොලැබූ කථිකයෙක් වේද, දෙතිස් කථාවෙන් තොරවූ කථිකයෙක් වේද, ධර්‍මය එය කැමැත්තෙන්ම දෙසන්නෙක් වේද, ධර්‍මය දෙසීම පිණිස අන්‍යයන්ට හෝ ආරාධනා කරන්නෙක් වේද, ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවයයි කියන ලද සිවුවැනි ධ්‍යානයට සමවැදීම හෝ සෙසු කමටහනක් (භාවනාවක්) මෙනෙහි කිරීම හෝ කෙරේද, මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) සත්වැනි හේතුවයි.)
’’රූපය මෙසේය, රූපය ඇතිවන්නේ මෙසේය, රුපය නිරුද්‍ධවන්නේ (නැති වන්නේ) මෙසේය, වේදනාව මෙසේය, වේදනාව ඇතිවන්නේ මෙසේය, වේදනාව නිරුද්‍ධ වන්නේ මෙසේය, සංඥාව මෙසේය, සංඥාව ඇතිවන්නේ මෙසේය, සංඥාව නිරුද්‍ධ වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය, සංස්කාරය ඇතිවන්නේ මෙසේය, සංස්කාරය නිරුද්‍ධවන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය, විඤ්ඤාණය ඇතිවන්නේ මෙසේය, විඤ්ඤාණය නිරුද්‍ධවන්නේ මෙසේයයි පඤ්චුපාදානස්තන්‍ධය කෙරෙහි උදයව්‍යය (ඇතිව නැතිවීම) අනුව සිහි කරමින් වසන්නේ වේද? මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) අටවැනි හේතුවයි.)
එකී භික්‍ෂුවට මේ මතු දක්වන පරිදි සමාන බඹසර ඇති භික්‍ෂූහු ගෞරවය දක්වත්. මේ ආයුෂ්මතුන් වහන්සේ වහන්සේ වනාහි ශාස්තෲන් වහන්සේ ඇසුරුකොට වාසය කරයි. ගරු කටයුතු එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් හෝ ඇසුරුකොට වාසය කරයි. යමෙක්හු කෙරෙහි ඔහුගේ තියුණුවූ ලජ්ජා භය එළඹ සිටියේ වේද, ප්‍රේමයත් ගෞරවයත් එළඹ සිටියේ වේද, (එබඳු උතුමෙක් ඇසුරුකොට වාසය කරයි.)
තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.
’ඒ මේ ආයුෂ්මතුන් වහන්සේ වනාහි ශාස්තෲන් වහන්සේ ඇසුරුකොට වසමින් එක්තරා ගරු කටයුතු සමාන බඹසර ඇති භික්‍ෂුවක් හෝ ඇසුරුකොට වසමින්, යමෙකු කෙරෙහි තියුණුවූ ලජ්ජා භය එළඹ සිටියේ වේද, ප්‍රේමයත් ගෞරවයත් එළඹ සිටියේ වේද, එබඳුවූ උතුමන් වෙත කලින් කල පැමිණ, ’ස්වාමීන් වහන්ස, කෙසේද, මෙහි අර්ත්‍ථය කුමක්දැ’ යි පූර්‍වාපර සන්‍ධි විචාරයි. (එකල්හි) ඔහුට ඒ පින්වතුන් වහන්සේලා අප්‍රකට අර්ත්‍ථය ප්‍රකාශ කෙරෙත්. ප්‍රකාශ නොකළ අර්ත්‍ථය ප්‍රකාශ කෙරෙත්. අනෙක ප්‍රකාරවූ සැක කටයුතවූු ධර්‍මයන්හි සැක දුරුකෙරෙත්. ඒකාන්තයෙන් මේ තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.
මහණතෙම ඒ ධර්‍මය අසා කාය ප්‍රකාශයෙන්ද, චිත්ත ප්‍රකාශයෙන්ද යන දෙයාකාරවූ ප්‍රකාශයෙන් (විදර්‍ශනා වීමට හේතු) සපයයි. තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.
සිල්වතෙක් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් හික්මී වෙසේද, භික්‍ෂුන් අතර හැසිරියයුතු ආකාරයත්, ගොදුරු ගම්හි හැසිරියයුතු ආකාරයත් දැන ඉගෙන පිළිපදිමින් ස්වල්ප මාල්‍රවූ වරදෙහි පවා භය දකින ස්වභාවය ඇතිව ශික්‍ෂාපද සමාදන්ව එහි පිළිපදිමින් වෙසේද,
ධර්‍ම විනය උගතෙක් වේද, උගත් දෙය මතක තබා ගත්තෙහි වේද. උගත් දෙය සිතෙහි තැන්පත් කර ගත්තෙක් වේද, යම්කිසි ධර්‍මයක් මුල, මැද, අග යන තුන් තන්හි නිවැරදිව. යහපත්ව දේශනා කරණ ලදද, (ඒ දේශනාවෙන්) පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවු ධර්‍මයෝ මොහු විසින් ඉගෙන ගන්නා ලද්දේ වේද, ඉගෙනගත් ධර්‍මය සිත තබා ගත්තේ වේද, වචනයෙන් පුරුදු කරණ ලද්දේ වේද. පිළිවෙළ නොවරදවා සිතින් පරීක්‍ෂා කරණලද්දේ වේද, විදර්‍ශනා ප්‍රඥාවෙන් යහපත්ව අවබෝධ කරණ ලද්දේ වේද, තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.
’’අකුශල ධර්‍මයන් දුරුකිරීම පිණිසද, කුශල ධර්‍මයන් රැස්කිරිම පිණිසද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කෙරේද, වීර්‍ය්‍යවන්තවූයේ දැඩිවූ පරාක්‍රමයෙන් යුක්තවූයේ, නොපසුබස්නා වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ වේද, ඒකාන්තයෙන් මේ තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.
සඞ්ඝයා විසින් අණ නොලැබූ කථිකයෙක් වේද, දෙතිස් කථාවෙන් තොරවූ කථිකයෙක් වේද, ධර්‍මය එය කැමැත්තෙන්ම දෙසන්නෙක් වේද, ධර්‍මය දෙසීම පිණිස අන්‍යයන්ට හෝ ආරාධනා කරන්නෙක් වේද, ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවයයි කියන ලද සිවුවැනි ධ්‍යානයට සමවැදීම හෝ සෙසු කමටහනක් (භාවනාවක්) මෙනෙහි කිරීම හෝ කෙරේද, ඒකාන්තයෙන් මේ (2) තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.
’’රූපය මෙසේය, රූපය ඇතිවන්නේ මෙසේය, රුපය නිරුද්‍ධවන්නේ (නැති වන්නේ) මෙසේය, වේදනාව මෙසේය, වේදනාව ඇතිවන්නේ මෙසේය, වේදනාව නිරුද්‍ධ වන්නේ මෙසේය, සංඥාව මෙසේය, සංඥාව ඇතිවන්නේ මෙසේය, සංඥාව නිරුද්‍ධ වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය, සංස්කාරය ඇතිවන්නේ මෙසේය, සංස්කාරය නිරුද්‍ධවන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය, විඤ්ඤාණය ඇතිවන්නේ මෙසේය, විඤ්ඤාණය නිරුද්‍ධවන්නේ මෙසේයයි පඤ්චුපාදානස්තන්‍ධය කෙරෙහි උදයව්‍යය (ඇතිව නැතිවීම) අනුව සිහි කරමින් වසන්නේ වේද? තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.
’’මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත් වීමටද, භාවනාව සම්පූර්‍ණවීමටද, මේ කරුණු අට හේතු වෙත්.’’