අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
5. උපොසථ වර්‍ගය
10. පරලොක විජය සූත්‍රය
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවු ස්ත්‍රී තොමෝ මේ ලොව ජය ගැනීම පිණිස පිළිපන්නී වෙයි.
’’කවර සතරකින්ද යත්. මනාකොට කරණ ලද කර්‍මාන්ත ඇත්තී වෙයි. සංග්‍රහ කරණ ලද සේවක ජනයා ඇත්තී, ස්වාමියාට හිතවත්ව හැසිරෙයි. ස්වාමියා ගෙන එන ලද්ද ආරක්‍ෂා කරයි. මහණෙනි,
’’ස්ත්‍රී තොමෝ කෙසේ නම් මනා කොට කරණ ලද කර්‍මාන්ත ඇත්තී වේද? මහණෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ යම් ඒ ස්වාමියාගේ ලෝම කර්‍මාන්ත හෝ, කපු කර්‍මාන්ත හෝ, යන කර්‍මාන්තයන්හි අලස නොවන්නී, දක්‍ෂ ඇත්තියක් වේද, ඒවායේ අභිවෘද්ධිය පිණිස, විමසීමෙන් යුක්තවූවා කටයුතු කරන්නට සුදුසු වේද, පිළියෙළ කරන්නට සුදුසුවේද, මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රීතොමෝ මනාව කරණ ලද කර්‍මාන්ත ඇත්තී වෙයි.
’’ මහණෙනි, ස්ත්‍රීතොමෝ කෙසේ නම් සඞ්ග්‍රහ කරණ ලද සේවක ජනයා ඇත්තී වේද, මහණෙනි, මේ ලොව සත්‍රී තොමෝ ස්වාමියාගේ අබ්භ්‍යන්තර සේවක ජනයා එනම්, දාසයෝ හෝ, පණිවුඩකරුවෝ හෝ, කම්කරුවෝ හෝ වෙද්ද, ඔවුන්ට කළයුතු දෙය, කළයුතු දෙය වශයෙන් දනීද, නොකළයුතු දෙය, නොකළ යුතු දෙය වශයෙන් දනීද. ලෙඩවූවන්ගේද පලා ඵල දනීද, කෑ යුතු, බුදිය යතු දේ සුදුසු පරිදි බෙදාද, මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රීතොමෝ සංග්‍රහ කරණ ලද සේවක ජනයා ඇත්තී වෙයි.
’’ මහණෙනි, කෙසේ නම් ස්ත්‍රී තොමෝ ස්වාමියාට කැමති සේ හැසිරෙන්නීද, මහණෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ, දිවි යතත් ස්වාමියාට යමත් අප්‍රිය නම් එය ඉක්මවා නොහැසිරේද, මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රී තොමෝ ස්වාමියාට කැමති සේ හැසිරෙන්නීය.
’’ මහණෙනි, කෙසේ නම් සත්‍රී තොමෝ ස්වාමියා ගෙන එන දේ මනාව රකීද, මහණෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ ස්වාමි පුරුෂයා යම් ධනයක් හෝ ධාන්‍යයක් හෝ රන් රිදී මිළ මුදල් හෝ ආරක්‍ෂාකොට තබාද, ඒවායේද ධූර්‍ත නැත්තී, සෙර නැත්තී, ගිජු නැත්තී, විනාශ නොකරන්නී වේද, මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රී තොමෝ ස්වාමියා ගෙන එන දෙය රකින්නියක් වන්නීය. මහණෙනි, කරුණු සතරකින් යුත් ස්ත්‍රීතොමෝ මේ ලොව දිනීම පිණිස පිළිපන්නී වෙයි. මේ ලොව සතුටුවන්නී වෙයි.
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවු ස්ත්‍රී තොමෝ පරලොව ජය ගැනීම පිණිස පිළිපන්නී වෙයි
’’මහණෙනි, කෙසේ නම් ස්ත්‍රී තොමෝ ශීලයෙන් යුක්ත වේද, විශාඛාවෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.
’’මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රී තොමෝ ශීලයෙන් යුක්තවූයේ වෙයි.
’’මහණෙනි, කෙසේ නම් ස්ත්‍රී තොමෝ ත්‍යාග සම්පන්න වේද? මහණෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ ධනය නොසඟවන ත්‍යාගය ඇත්තී, දීමට සේදූ අත් ඇත්තී, පරිත්‍යාගයෙහි ඇළුනී, ඉල්ලීමට සුදුසුව සිටින්නී, විමසා දන් දීමෙහි ඇළුනී, පහවූ මසුරු මළ ඇති සිතින් ගිහිගෙයි වෙසෙන්නීද, මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රී තොමෝ ත්‍යාගය ඇත්තී වෙයි.
’’මහණෙනි, කෙසේ නම් ස්ත්‍රී තොමෝ ප්‍රඥා ඇත්ති වේද, මහණෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ දියුණුව ඇති කරවණ ප්‍රඥාවෙන් යුක්තව, ආර්‍ය්‍යවූ උසස් නුවණැතිව, මනාකොට දුක් කෙළවර කිරීමේ නුවණින් යුක්ත වේද, මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රී තොමෝ ප්‍රඥා ඇත්තී වෙයි.
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ ස්ත්‍රීතොමෝ පරලොව ජය ගැනීම පිණිස පිළිපන්නී වෙයි.
’’මනාකොට කරණ ලද කර්‍මාන්ත ඇත්තීද, සංග්‍රහ කරණ ලද පිරිවර ජනයා ඇත්තීද, ස්වාමියාගේ සිත සතුටු කරමින් හැසිරෙන්නීද, ස්වාමියා විසින් රැස් කරණ ලද දෙය ආරක්‍ෂා කරන්නිද, ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්තවීද, යාචකයන්ගේ වචන දන්නීද, පහවූ මසුරු මළ ඇත්තීද. සැපවූ, පරලොවට හිතවූ මාර්ගය නිතර පිරිසිදුකරන්නීද. මෙසේ මේ අට කාරණයෝ යම් ස්ත්‍රියකට විද්‍යමාන වෙත්ද, කුශල ධර්‍මයෙහි පිහිටියාවූ, සත්‍ය වචන කියන්නාවූ, ඒ ස්ත්‍රීද ශීල ව්‍රතයෙන් යුක්තයයි කියත්. සොළොස් ආකාරවන අෂ්ට ගුණාඞ්ගයෙන් යුක්තවූ එබඳුවූ සිල්වත් ඒ උපාසිකා තොමෝ මනාප නම්වු දිව්‍ය ලෝකයෙහි (නිර්‍මාණරතී) උපදින්නීය.’’
පස් වන උපොසථ වර්ගය නිමි.
පඨමපණ්ණාසකං සමත්තං.