ඛුද්දකනිකායෙ

බුද්ධවංස පාළි

19. තිස්ස බුදුරජුන්ගේ වංශය

සිදුහත් බුදුරදුන්ට අනතුරුව (පසු කාලයෙහි) අසමවූ, තමහට සමාන පුද්ගලයෙක් නැති, අපමණ තෙද ඇත්තාවූ, බොහෝ පිරිවර ඇති, ලෝනාහිමි ’’තිස්ස’’ නම් බුදුරජ,

අනුකම්පා ඇතිසේක්, මහා වීර්‍ය්‍ය ඇති සේක්, පසැස් ඇති සේක්, මොහඳුරු නසා, දෙවියන් සහිත ලෝකයා හොබවා ලෝකයෙහි උපන් සේක.

ඒ ’’තිස්ස’’ නම් බුදුරදුන්ගේද ඎද්‍ධිය අසමය. සීල හා සමාධියද අසමානය. උන්වහන්සේ සියලු ධර්‍මයන්හි පරතෙරට පැමිණ දම්සක් පැවැත්වූ සේක.

ඒ බුදුරජතෙම දස දහසක් සක්වළෙහි පිරිසිදුවූ වචනය (හෙවත් ධර්‍මය) හැඟවී. (හෙවත් දෙසූ සේක.) පළමුවන දම් දෙසුමෙහිදී කෝටි සියයක් දෙනා ධර්‍මාවබෝධය කළහ.

ඒ කාලයෙහි උන්වහන්සේ (වෙතට) පැමිණි දෙවි මිනිසුන් දෙවන දම් දෙසුමෙහිදී අනූ කෝටියක්ද, තුන්වන දම් දෙසුමෙහිදී සැට කෝටියක්ද සසර බැඳුමෙන් මිදූ සේක.

තිස්ස නම් ලෝනාහිමිඳුන් කෙරෙහි තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති රහතුන් වහන්සේලාගේ රැස්වීම් තුණක් වූහ.

රහතුන් සියක් දහසක් (ලක්‍ෂයක්) දෙනෙකුන්ගේ පළමුවන සමාගමය (රැස්වීම) වී. අනූ ලක්‍ෂයක් දෙනෙකුන්ගේ දෙවන සමාගමය වී.

(රහත්) ඵල විමුක්තියෙන් මල් පිපුනු (හෙවත් ප්‍රබෝධවූ) රාගාදී කිලුටු නැති, රහතුන් අසූ ලක්‍ෂයක් දෙනෙකුන්ගේ තුන්වන සමාගමය වී.

මම ඒ කාලයෙහි ’’සුජාත’’ නම් රජව, මහත් සම්පත් හැරදමා, ඉසි පැවිද්දෙන් පැවිදිවූයෙමි.

මා පැවිදිවූ කල්හි ලෝනාහිමිවූ බුදුරජතෙම ලොව පහළවූ සේක. ’’බුද්‍ධ’’ යන ශබ්ද (වචන)ය අසා මට සතුටක් උපන්නේය.

දෙව්ලොව හටගත්තාවූ මදාරා මල්ද, පියුම්ද, පරසතු මල්ද, දෙඅතින් දැඩිකොට ගෙන (වැහැරි සිවුරු) සලමින් අහසින් ( බුදුරදුන් වෙත) පැමිණියෙමි.

මම ඒ (පියුම්) මලක් ගෙන, සිවුවණක් පිරිස් පිරිවරණ ලද ’’තිස්ස’’ නම් ලොවනාහිමි ජිනරාජයන් මත (කුඩයක්සේ) දැරූයෙමි.

ඒ බුදුරජතෙමේද, ජන සමූහයා මැද වැඩහිඳ, ’’මෙතෙම මෙයින් අනූ දෙවන කපෙහි බුදුවන්නේය’’ යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.

’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.

’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.

’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.

’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’

අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’

ඒ (තිස්ස) බුදුරදුන්ගේද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි (පසුව) වතක් ඉටුයෙමි.

මහ තවුස්වූ තිස්ස බුදුරදුන්ගේ (උපන්) නගරය ’’ඛෙමක’’ නම් වී. පිය තෙම ’’ජනසන්‍ධ’’ නම් රජය. වැදූ මව් ’’පදුමා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු හත් දහසක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි වාසය කළේය. ’’ගුහාශෙල’’ ය, ’’නාරී’’ ය, ’’තිස්ස’’ ය යයි උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සමතිස් දහසක් වූහ. ප්‍රසිද්‍ධවූ බිරිඳ ’’සුභද්දා’’ නම් වූවාය. පුත් තෙම ’’ආනන්‍ද’’ නම් වී.

(තිස්ස) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, අස් යානයෙන් (අස් රියෙන්) මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ, ’’තිස්ස’’ නම් ලෝනාහිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, උතුම් ’’යසවතී’’ නම් වනයෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ ’’තිස්ස’’ බුදුරදුන්ට, ’’බ්‍රහ්මදෙව’’ ද, ’’උදය’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සුමඞ්ගල’’ නම් වී.

’’ඵුස්සා’’ ද, ’’සුදත්තා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’පියා’’ (මොර) ගස යයි කියනු ලැබේ.

’’සම්බල’’ ද, ’’සිරි’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’කිසාගෝතමී’’ ද, ’’උපසේනා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

පස්මරුන් දිනූ ඒ බුදුරජ තෙමේද උසින් සැට රියනක් ඇත්තේ වී. උපමා රහිතවූ සේක්, අසමවූ සේක්, හිමාලය පර්‍වතය මෙන් දක්නා ලැබේ.

අසම තෙද ඇති ඒ බුදුරදුන්ගේද ආයුෂය ඉතා දික්වූයේත්, ඉතා මඳ නොවූයේත් විය. පසැස් ඇති උන්වහන්සේ අවුරුදු සියක් දහසක් ලෝකයෙහි වැඩ සිටි සේක.

උතුම්වූ, ප්‍රවරවූ, ශ්‍රේෂ්ඨවූ මහා යසස් විඳ, ගිනි කඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.

පවනින් මේ කුලක් (වැහි වලාකුලක්) මෙන්ද, හිර කරණකොට පිනි මෙන්ද, පහනින් අඳුර මෙන්ද, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.

ජිනරාජවූ තිස්ස බුදුරජතෙම ’’නන්‍දාරාමයෙහි’’ දී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජිනථූපය (දාගැබ) තුන් යොදුනක් උස්වී. (තුන් යොදුනක් උසට බඳින ලදී.)

තිස්සස්ස භගවතො වංසො සත්තරසමො.