ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
23. වෙස්සභූ බුදුරජුන්ගේ වංශය
එම මණ්ඩ නම් කල්පයෙහි අසමවූ, තමාට සමාන පුද්ගලයෙක් නැත්තාවූ, නම්න් ’’වෙස්සභූ’’ නම්වූ ලෝනා හිමිඳු උපන් සේක.
ඒ කාලයෙහි තණ්හාවන් පිළිබඳ නගරය රාග නමැති ගින්නෙන් දැල්වුනේයයි (දැන) බැඳුම් සිඳගෙන, ඇත් රජෙකු මෙන් (ගොස්) බුදුබවට පැමිණි සේක.
වෙස්සභූ ලෝනාහිමිඳුන් දම්සක් පවත්වන කල්හි කෝටි අසූ දහසක් දෙනෙකුන්ට පළමුවන ධර්මාවබෝධය වී.
ලෝදෙටු නරශ්‍රේෂ්ඨ බුදුරදුන් රටෙහි සැරිසරා වැඩිය කල්හි කෝටි සැත්තෑ දහසක් දෙනාට දෙවන ධර්‍මාවබෝධය වී.
උන්වහන්සේ මහා මිසදිටුව දුරු කරමින් (යමාමහ) පෙළහරක් කළ සේක. දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයෙහි දෙවි මිනිස්සු රැස්වුහ.
පෙර නොවූවිරූ, ලොමු දැහැගන්නාවූ මහ පුදුමය දැක, සැට කෝටියක් දෙවියෝද, මිනිස්සුද සිවුසස් අවබෝධ කළාහුය.
මහර්ෂීවූ වෙස්සභූ බුදුරජුන්ට, තාදී ගුණ ඇති, සන්සුන් සිත් ඇති, කෙලෙස් කිලිටු නැති රහතුන්ගේ රැස්වීම් තුණක් වූහ.
අසූ දහසක් භික්‍ෂූන්ගේ පළමුවන රැස්වීම වී. සැත්තෑ දහසක් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම වී.
මහර්ෂීවූ, බුද්‍ධපුත්‍රවූ, ජරා මරණ ආදී භය නැති කළ සැට දහසක් භික්‍ෂූන්ගේ තුන්වන රැස්වීම වී.
අසමවූ ඒ (වෙස්සභූ) බුදුරදුන්ගේ පවත්වන ලද උතුම් දම්සක් අසා, උතුරු මිනිස්දම් (ලැබීමට) පැවිද්ද කැමැති වීමි.
මම ඒ කාලයෙහි ’’සුදස්සන’’ නම් රජෙකි. ආහාරපාන හා පිළියෙන්ද, සංඝයා සහිත ජිනරාජවූ බුදුරදුන් පිදූයෙමි.
රෑ දාවල් අනලස්ව මහ දන් පවත්වා, පැවිද්ද ගුණයෙන් යුක්තයයි දැන, ජිනරාජවූ බුදුරදුන් සමිපයෙහි පැවිදිවීමි.
ආචාරයෙන් හා ගුණයෙන් යුත්වූයේ, වතින් හා සීලයෙන් එකඟවූයේ, බුදුබව සොයමින්, බුදු සස්නෙහි සිත් අලවා වාසය කෙළෙමි.
සැදැහැයෙන් හා සතුටෙන් යුතුව, වෙත පැමිණ (දෙවි මිනිසුන්ට) අනුශාසනා කරණ බුදුරදුන්ගේ පා වැන්දෙමි. (එකල) සම්බෝධියට (බුදුබව) හේතුකොටගෙන මට ප්‍රීතිය උපනි.
සම්බුදුරද තෙම නොපසුබස්නා සිත් ඇති බව දැන, ’’මෙයින් තිස්එක්වන කපෙහි මේ (පැවිදි) තෙම බුදුවන්නේය’’ යන මෙය වදාළ සේක.
ඒ තථාගත තෙම ඒ දිනයෙහි මනරම් කිඹුල්වත් නුවරින් නික්ම, බුදුවීමට උත්සාහකොට, දුෂ්කර ක්‍රියාද කොට,
ඉක්බිති ඒ තථාගත තෙම අජපල් නුගරුක මුලෙහි හිඳ, එහිදී කිරිබත පිළිගෙන, නෙරංජරාවට එළඹෙයි.
නැවත ඒ ජිනරාජතෙම නෙරංජරා නදී තීරයෙහිදී කිරිබත වළඳයි. ඉක්බිති දෙවියන් විසින් පිළියෙළ කළ උතුම් මගින් බෝගස කරා එළඹෙයි.
මහා යසස් ඇති ගෞතම නරදෙටු තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණුකොට ඇසතු ගස මුලදී බුදුබව අවබෝධ කර ගන්නේයි.
’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’
මම ඒ බුදුරජුන්ගේ වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි.
මහර්ෂීවූ වෙස්සභූ බුදුරදුන්ගේ නුවර ’’අනූපම’’ නම් වී. පිය තෙම ’’සුප්පතීත’’ නම් රජය. වැදූ මව් ’’යසවතී’’ නම් වූවාය.
ඒ (වෙස්සභූ) බුදුරජතෙම අවුරුදු හය දාහක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි වාසය කෙළේය. ’’රුචි’’ ය, ’’සුරුචි’’ ය, ’’වඩ්ඪමාන’’ ය යන උතුම් තුන් ප්‍රාසාද තුණක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ තිස් දහසකි. ප්‍රසිද්‍ධවූ බිරින්ද ’’සුචිත්තා’’ නම් වූවාය. පුත් තෙම ’’සුප්පබුද්‍ධ’’ නම් වී.
පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක, සිවිකා (දෝලා විශෙෂයක්වූ) යානයෙන් මහබිනික්මන් කෙළේය. සය මාසයක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
බඹහු විසින් අයදනා ලද්දේ, මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, ’’වෙස්සභූ’’ නම් ලෝනාහිමිඳු ’’අරුණ’’ නම් ආරාමයේදී දම්සක් පැවැත්වූ සේක.
මහර්ෂීවූ ’’වෙස්සභූ’’ බුදුරදුන්ට, ’’සෝන’’ ද, ’’උත්තර’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’උපසන්තා’’ නම් වී.
’’දාමා’’ ද, ’’සමාලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’සල් ගස’’ යයි කියනු ලැබේ.
’’සොත්‍ථිත’’ ද, ’’රම්ම’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’ගොතමී’’ ද, ’’සිරිමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
උන්වහන්සේ සැට රියනක් උස්වූ, රන් යාග ටැඹකට සමාන උපමා ඇති සේක්, රාත්‍රියෙහි කඳු මුදුනක ගින්නක් මෙන් ශරීරයෙන් රශ්මිය නික්මෙයි.
ඒ කාලයෙහි අවුරුදු සැට දහසක් ආයුෂ ඇත්තේය. ඒතාක් කල් වැඩ සිටිමින් උන්වහන්සේ බොහෝ ජන සමූහයා (සසර සයුරෙන්) එතර කළ සේක.
ධර්‍මය පැතිරවීම කොට, මහජනයාට බෙදා, දහම් නමැති නැව තබා, ශ්‍රාවකයින් සහිතව ඒ බුදුරජතෙම පිරිනිවි සේක.
දැක්ක යුතු සියලු පිරිවර සහිත බුදුරජ තෙමේද, විහාරයද, ඉරියව්ද යන සියල්ල අතුරුදන් වී. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?
ශාස්තෘවූ ඒ වෙස්සභූ ජිනරාජතෙම ’’ඛෙම’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී.
[සිව්සස් අවබෝධ කළ ’’සුඛී’’ මුනිසඳු ’’දුස්ස’’ නම් ආරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.) ]
වෙස්සභුස්ස භගවතො වංසො එකවීසතිමො.