ඛුද්දකනිකායෙ
බුද්ධවංස පාළි
26. කසුප් බුදුරජුන්ගේ වංශය
’’කොණාගමන’’ නම් බුදුරදුන්ට පසු කාලයෙහි සිවුසස් අවබෝධ කළ, දෙපා ඇති සතුන්ට උතුම්වූ, බැබලීම් ඇති කරණ, නම්න් ’’කසුප්’’ නම්වූ දහම්රදතෙම,
හැරදමන ලද කුලගෙයද, මූල නම් අපමණ ධන රාශියද, බොහෝ ආහාර පානද, සිත පුරා යාචකයන්ට දන්දී, ගාල බිඳගෙන යන ගව රජෙකු මෙන් උතුම් සම්බෝධියට පැමිණි සේක.
කසුප් ලෝනාහිමි දම්සක් පවත්වන කල්හි කෝටි විසි දහසක් දෙනෙකුන්ට පළමුවන ධර්මාවබෝධය වී.
යම් කලෙක (කසුප්) බුදුරජතෙම සිව් මසක් මුළුල්ලේ ලෝකයෙහි සැරිසැරූ සේක්ද, ඒ කාලයෙහි කෝටි දස දහසක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවබෝධය වී.
යමාමහ පෙළහර කොට, සර්‍වඥතාඥානය පළකළ සේක්ද, කෝටි පන්දහසක් දෙනෙකුන්ට තුන්වන ධර්‍මාවබෝධය වී.
ජිනරාජතෙම සුදම් දෙව්සබය ඇති දෙව් පුරයෙහි දම් දෙසූ සේක්ද, කෝටි තුන් දහසක් දෙවියන්ට ධර්‍මාවබෝධය කෙළේය.
’’නරදෙව්’’ නම් යකුට අනික් වරෙක දම් දෙසන කල්හි මේ දෙවියන්ට (වූ) ධර්‍මාවබෝධය ගණනින් නොගිනිය හැක. හෙවත් ගණන් කළ නොහැක.
දෙවියන්ට දෙවිවූ ඒ බුදුරදුන්ටද, තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති රහතුන් වහන්සේලාගේ එක් රැස්වීමක් වී.
ඒ කාලයෙහිදී ලජ්ජා සීලාදී ගුණයෙන් එකබඳු, රාගාදී කෙලෙස් ඇතියවුන් ඉක්මවූ විසිදහසක් භික්‍ෂූන්ගේ රැස්වීමක් වී.
ඒ කාලයෙහි මම සිප් සතර උගන්වන, ඉගෙනගත් මන්ත්‍ර දරණ, තුන් වේදයෙහි පරතෙරට ගිය, මහපුරිස් ලකුණු දැනීමෙහිද, ඉතිහාසයෙහිද, සිය බමුණු දහමෙහිද (ඉගෙණීමෙන්) පරතෙරෙට පැමිණි, පොළොව හා අහස පිළිබඳ තතු දැනීමෙහි බුහුටිවූ, කළ පුරුද්ද ඇති, දැනුමෙන් නොඅඩු, ජොතිපාල යන නමෙන් පතළ මාණවකයෙක් වීමි.
කසුප් බුදුරදුන්ගේ ගෞරව සහිතවූ, යටහත් පැවතුම් ඇති, අනාගාමී ඵලයෙන් කෙලෙස් නිවූ, ඝටීකාර නම් උපස්ථායකයෙක් වී.
ඝටීකාර තෙම මා ගෙණ කසුප් දිනිඳු (බුදුන්) වෙත එළඹියේය. උන්වහන්සේගේ දහම් අසා, උන්වහන්සේ වෙත පැවිදිවීමි.
පටන්ගන්නා ලද විර්‍ය්‍ය ඇත්තෙක්ව, වතාවත්හි දක්‍ෂවූයේ, සීල සමාධි ආදී කිසි තැනක නොපිරිහුනෙමි. බුදුසසුන පිරුවෙමි.
යම් පමණ බුදුවදන් වීද, නවඟ සසුනක් වීද, ඒ සියල්ල ඉගෙන බුදුසසුන හෙබවීමි.
ඒ කසුප් බුදුරජතෙමේද, මාගේ පුදුම මනා පිළිවෙත් දැක, ’’මේ (ජෝතිපාල) තෙම මේ භද්‍රකල්පයෙහි බුදුවන්නේය’’ යි විවරණයක් ප්‍රකාශ කළ සේක.
ඒ තථාගත තෙම ඒ දිනයෙහි මනරම් කිඹුල්වත් නුවරින් නික්ම, බුදුවීමට උත්සාහකොට, දුෂ්කර ක්‍රියාද කොට,
ඉක්බිති ඒ තථාගත තෙම අජපල් නුගරුක මුලෙහි හිඳ, එහිදී කිරිබත පිළිගෙන, නෙරංජරාවට එළඹෙයි.
නැවත ඒ ජිනරාජතෙම නෙරංජරා නදී තීරයෙහිදී කිරිබත වළඳයි. ඉක්බිති දෙවියන් විසින් පිළියෙළ කළ උතුම් මගින් බෝගස කරා එළඹෙයි.
මහා යසස් ඇති ගෞතම නරදෙටු තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණුකොට ඇසතු ගස මුලදී බුදුබව අවබෝධ කර ගන්නේයි.
’’ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
’’මොහුගේ වදන මව් තොමෝ ’’මායා’’ නම් වන්නීය. පියතෙම ’’සුදොවුන්’’ නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
’’කෝලිත’’ ද, ’’උපතිස්ස’’ ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’ආනන්‍ද’’ නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
’’චිත්තා’’ ද, ’’හත්‍ථාලක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. ’’නන්‍දමාතා’’ ද, ’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.’’
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
’’යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ කොණ්ඩඤ්ඤ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’
මම ඒ බුදුරජුන්ගේ වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් දම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි.
මෙසේ මම නොකටයුතු දේ දුරු කරමින් සසරෙහි හැසිරීමි. සම්බෝධිය පිණිස මා විසින් දුෂ්කර ක්‍රියාද කරණ ලදී.
(කසුප් බුදුරදුන්ගේ) උපන් නුවර ’’බාරාණසී’’ නම් වී. (එහි) ’’කිකී’’ නම් රජකේ වී. ඒ නුවරෙහි බුදුරදුන්ගේ මහා කුලය (මහත් නෑ සමූහය) වාසය කළේය.
මහර්ෂීවූ කසුප් බුදුරජුන්ගේ පිය තෙම පසිඳු බඹදත් බමුණු නම් වී. වැදූ මව් ධනවතී නම් බැමිණිය වූවාය.
ඒ බුදුරජතෙම අවුරුදු දෙදහසක් බුදුවන්ට පෙර ගිහිගෙයි විසීය. ’’හංස’’ ය, ’’යස’’ ය, ’’සිරිනන්‍ද’’ ය යන උතුම් තුන් පහයක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් අට දහසකි. පසිඳු බිරින්ද ’’සුනන්‍දා’’ නම් වූවාය. පුත් තෙම ’’විජිතසේන’’ නම් වී.
පුරුෂෝත්තම තෙම සතර පෙර නිමිති දැක, පහයෙන් මහබිනික්මන් කළේය. සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කළේය.
මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, කසුප් ලෝනා හිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.
මහර්ෂීවූ කසුප් බුදුරජුන්ට ’’තිස්ස’’ ද, ’’භාරවාජ’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සබ්බ චිත්ත’’ නම් වී.
’’අනුලා’’ ද, ’’උරුවෙලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ’’නුගරුක’’ යයි කියනු ලැබේ.
’’සුමඞ්ගල’’ ද, ’’ඝටීකාර’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’විජිතසේනා’’ ද, ’’භද්‍ර’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
ඒ බුදුරජතෙම උසින් විසි රියනක් උස්විය. අහසෙහි විදුලියක් මෙන්ද, තරුවලින් පිරුණු සඳ මෙන්ද බැබලී.
මහර්ෂීවූ උන්වහන්සේගේ ආයුෂය අවුරුදු විසි දහසකි. ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා බව සයුරෙන් එතර කළ සේක.
දහම් නමැති විලක් මවා, සිව් පිරිසිදු සිල් නමැති විලවුන්දී, හිරි ඔතප් නමැති පිළි සඟලක් හැඳ, සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍ම නමැති මල් දමක් ගොතා (හෙවත් කොට)
නිවන් පතන කිසි කෙනෙක් මා විසින් දෙසන ලද (දහම් නමැති) පළඳනාව බලත්වායි නිමල් (නොකිලිටු) දහම් නමැති කැඩපතක් මහජනයා වෙත තබා,
පන්සිල්, දසසිල්, සිව් පිරිසිදු සිල් නමැති සැට්ටයක් දී, (සිවු - පස් භෙද ඇති) ධ්‍යානයකද බඳින ලද්දේ, දහම් සම් පොරවා, උතුම් වීර්‍ය්‍ය දළ සතර බැඳුම් සැට්ටය දී,
සිහිය නමැති පලිහයක්ද, විදසුන් නැණ නමැති හෙල්ලක්ද දී, ලොව්තුරු සීලයට සතුරු කෙලෙස් සියල්ල මඩනා නැණ නමැති උතුම් කඩුවක්ද දී,
ත්‍රිවිද්‍යා නමැති පළඳනාවක්ද, සිව් මග පල නමැති මුදුන් මල් කඩක්ද, ෂඩ් අභිඥා නමැති අලංකාර කරණ අබරණද, නව ලොව්තුරු දහම් නමැති පළඳන මල් දමක්ද දී,
අකුසල් නමැති අව්ව වැලැක්වීම කරණ සදහම් නමැති සේසතක්ද දී, ’’අභයපුර’’ යයි කියන ලද නිවනට පමුණුවන (අරි අටඟි මග නමැති) මල් අතුළ මගක් ඇතිකොට ඒ (කසුප්) බුදුරදතෙම ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.
අපමණ ගුණ ඇති, සතුරන් විසින් නොළංවිය හැකි, ඒ සම්බුදුරදහුද, යහපත්ව දෙසන ලද එව බලව යි කීමට සුදුසු ඒ දහම් රුවනද,
උතුම්වූ සුපිළිපන් ඒ සඟ රුවනද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?
ශාස්තෘවූ මහ කසුප් ජිනරාජ තෙම ’’ස්වෙතව්‍ය’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජිනථූපය කාශ්‍යප භාග්‍යවත්හුගේ වංශය නම්. (සෑය) යොදුනක් උසට (ගොඩ) නගන ලද්දේය.
කස්සපස්ස භගවතො වංසො චතුවීසතිමො.