ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
1. එකක නිපාතය
1. භොග වර්ගය
1. ලොභ පජහන සූත්‍රය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
[1] “භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
[2] “(i) මහණෙනි, එක් ස්වභාවයක් දුරුකරවූ, තොපට මම අනාගාමි භාවය පිණිස ඇප වෙමි. කවර එක් ස්වභාවයෙක්ද යත්? (ii) මහණෙනි, ලොභයවූ එක් ස්වභාවය දුරු කරවූ, තොපට මම අනාගාමි බව පිණිස ඇපවෙමි’යි
[3] මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථ සමූහය මෙසේ කියනු ලැබේ. “යම් ලොභයකින් ගිජුවූ සත්වයෝ දුගතියට යෙද්ද, (අනිත්‍යාදී වශයෙන්) දක්නාසුලු ප්‍රාඥයෝ ඒ ලොභය මනාව දැන පහකෙරෙත්. පහකොට මේ (කාම) ලොකයට නැවත කිසිකලෙකත් (උත්පත්ති වශයෙන්) නොපැමිණෙත්යයි”
[4] මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලද්දේයි.”