ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
2. දුක නිපාතය
2. ජාගරිය වර්ගය
4. අරියපඤ්ඤා සූත්‍රය
“මහණෙනි, යම් සත්ව කෙනෙක් ආර්ය ප්‍රඥාවෙන් ඒ සත්වයෝ අතිශයින් පිරිහුනෝ වෙති. ඒ සත්වයෝ මේ ආත්මයෙහිම පීඩා සහිතව දැඩි ආයාස සහිතව හාත්පස දාහ සහිතව දුකසේ වෙසෙති. තමාගේයයි සිතාගත් ස්කන්ධයන්ගේ භෙදයෙන් මරණින් මත්තෙහි දුගතියක් කැමති විය යුත්තීය.
“මහණෙනි, යම් සත්වකෙනෙක් ආර්ය ප්‍රඥාවෙන් නොපිරිහුනෝ වෙද්ද, ඒ ස්කන්දයෝ මේ අත්බවෙහිම පීඩානැතිව දැඩි ආයාස නැතිව හාත්පස දැවිලි නැතිව සුවසේ වෙසෙති. ශරීරයාගේ භෙදයෙන් චුති චිත්තයන් මත්තෙහි සුගතියක් කැමති විය යුත්තීයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි ගාථාවෙන් මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“පිරිහීමෙන් නාමරූප දෙක්හි උපාදානස්කන්ධය පසෙහි පිහිටියාවූ දෙවියන් සහිත ලෝවැස්සා බලව, මෙයම සත්‍යය හඟී.
“සංස්කාර ලොකයෙහි යම් ප්‍රඥාවක් තොමෝ පළමින් යන සුලුවේද, යම් ප්‍රඥාවකින් ඉපදීම හා භවයද ක්ෂය කරන්නාවූ නිවන මනාව දැන ගනීද, ඒ මාර්ග ප්‍රඥා තොමෝ ශ්‍රෙෂ්ඨ වන්නීමය.
“දෙවියෝද මිනිස්සුද මනාව අවබොධකළාවූ සිහි ඇත්තාවූ සන්තොෂප්රමෝද්ය බහුල ප්‍රඥාව ඇත්තාවූ (නොහොත්) විපුලභාවයට පැමිණි හාස ප්‍රඥාව ඇත්තාවූ අන්තිම ශරීරය දරණ ක්ෂීණාශ්රවයන්ට ප්‍රියවෙත්. (ඒ රහත් බව ලබන්නට කැමැති වෙත්.) යයි”