ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
3. තික නිපාතය
3. දිට්ඨ වර්ගය
2. දිට්ඨ සුගති සූත්‍රය
“මහණෙනි, කයින් පින් කිරීමෙන් යුක්තවූද, වචනයෙන් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, සිතින් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, ආර්යයන්ට උපවාද නොකළාවූද, සම්‍යග් දෘෂ්ටියෙන් යුක්ත වූද මනා දර්ශනය හෙතුකොට ගන්නා ලද කර්මයන් ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නා ලද්දාහුය. ඒ සත්වයෝ ශරීරය බිඳීයාමෙන් (මරණින් මතු) මනා ගති ඇත්තාවූ සුවයෙන් අග්‍රවූ දෙව්ලොවට පැමිණියාහුය. මහණෙනි, මා විසින් කාය සුචරිතයෙන් යුක්තවූද වාග්සුචරිතයෙන් යුක්ත වූද මනො සුචරිතයෙන් යුක්තවූද ආර්යයනට උපවාද නොකළාවූද, සම්‍යක් දෘෂ්ටි ඇත්තාවූද, සම්‍යක් දර්ශනයෙන් මනාකොට ගන්නාලද කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ කය බිඳීමෙන් පසු ශෝභනගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ දිව්‍යලොකයට පැමිණියාහ”යි ඒ ප්‍රකාශය වූකලි අන් මහණෙකුගේ වේවයි බමුණෙකුගේ වේවයි තෙපුල් අසා නොම කියමි.
“නැවතද කරුණක් ඇත:- “මහණෙනි, කයින් සුසිරි කිරීමෙන් යුක්තවූද වචනයෙන් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තද සිතින් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද ආර්යයනට ගර්හා නොකළාවූද සම්‍යග්දෘෂ්ටි ඇත්තාවූද, සම්‍යක් දෘෂ්ටි හෙතුවෙන් මනාව ගන්නාලද කර්මයන් ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නාලද්දාහුය, ඒ සත්වයෝ ශරීරය බිඳීයාමෙන් මරණින් මත්තෙහි සුන්දරගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ දෙව්ලොවට පැමිණියාහුය, (යන) යමක් තමා විසින්ම දන්නා ලද්දේද, තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්රකටව දන්නා ලද්දේද, මම එයම කියමියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මේ ලොකයෙහි (යම්) පුද්ගලයෙක් සිත මනාව පිහිටුවා වචනයෙන් (මුසාවාදාදිය) නොකියා මනාව (පිහිටුවා) කයින් මනා කර්මාන්තයන් කොට (විසීද,)
“මේ මිනිස් ලොව ස්වල්ප ජීවිතය ඇතිකල්හි බහුශ්‍රැතවූ පින්කළාවූ සප්‍රාඥවූ ඒ පුද්ගලතෙමේ ශරීරයාගේ බිඳීමෙන් (මැරීමෙන්) ස්වර්ගයට පැමිණේය”යි.