සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

2. ආහාර වර්ගය

3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජරාව සහ මරණය නොදනිත්ද, ජරාමරණය ඇතිවීම නොදනිත්ද, ජරාමරණය නැතිවීම නොදනිත්ද, ජරා මරණය නැතිකරන මාර්ගය නොදනිත්ද, ඉපදීම නොදනිත්ද, ඉපදීම ඇතිවීම නොදනිත්ද, ඉපදීම නැතිවීම නොදනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද, භවය නොදනිත්ද, භවය ඇතිවීම නොදනිත්ද, භවය නැතිවීම නොදනිත්ද, භවය නැතිකරන මාර්ගය නොදනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නොදනිත්ද, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවීම නොදනිත්ද, උපාදානය (දැඩිව අල්වාගැනීම) නැතිවීම නොදනිත්ද, උපාදානය (දැඩිව අල්වාගැනීම) නැතිකරන මාර්ගය නොදනිත්ද, තණ්හාව නොදනිත්ද, තණ්හාව ඇතිවීම නොදනිත්ද, තණ්හාව නැතිවීම නොදනිත්ද, තණ්හාව නැති කරන මාර්ගය නොදනිත්ද, වේදනාව නොදනිත්ද, වේදනාව ඇතිවී නොදනිත්ද, වේදනාව නැතිවීම නොදනිත්ද, වේදනාව නැති කරන මාර්ගය නොදනිත්ද, ස්පර්ශය නොදනිත්ද, ස්පර්ශය ඇතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිවීම නොදනිත්ද, ස්පර්ශය නැති කරන මාර්ගය නොදනිත්ද, සළායතන (ෂට් ඉන්ද්‍රිය) නොදනිත්ද සළායතන (ෂට් ඉන්ද්‍රිය) ඇතිවීම නොදනිත්ද, සළායතන (ෂට් ඉන්ද්‍රිය) නැතිවීම නොදනිත්ද, සළායතන (ෂට් ඉන්ද්‍රිය) නැතිකරන මාර්ගය නොදනිත්ද, නාමය සහ රූපය නොදනිත්ද නාමය සහ රූපය ඇතිවීම නොදනිත්ද, නාමය සහ රූපය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද, සංස්කාරයන් නොදනිත්ද, සංස්කාරයන් ඇතිවීම නොදනිත්ද, සංස්කාරයන් නැතිවීම නොදනිත්ද, සංස්කාරයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණ බවේ ඵලය හෝ බ්‍රාහ්ණ බවේ ඵලය හෝ මේ ආත්මයෙහි තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්.

මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් ජරාව සහ මරණය දනිත්ද, ජරාමරණයන්ගේ ඇතිවීම දනිත්ද, ජරා මරණය නැතිවීම දනිත්ද, ජරාමරණය නැති කරන මාර්ගය දනිත්ද, ඉපදීම දනිත්ද, ඉපදීම ඇතිවීම දනිත්ද, ඉපදීම නැතිවීම දනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය දනිත්ද, භවය දනිත්ද, භවය ඇතිවීම දනිත්ද, භවය නැතිවීම දනිත්ද, භවය නැතිකරන මාර්ගය දනිත්ද, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) දනිත්ද, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිකරන මාර්ගය දනිත්ද, තණ්හාව දනිත්ද? තණ්හාව ඇතිවීම දනිත්ද, තණ්හාව නැතිවීම දනිත්ද, තණ්හාව නැති කරන මාර්ගය දනිත්ද, වේදනාව දනිත්ද, වේදනාව ඇතිවීම දනිත්ද, වේදනාව නැති වීම දනිත්ද, වේදනාව නැතිකරන මාර්ගය දනිත්ද, ස්පර්ශය දනිත්ද, ස්පර්ශය ඇතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවීම දනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) ඇතිවීම දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නැතිවීම දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නැති කරන මාර්ගය දනිත්ද, නාමරූපයන් දනිත්ද, නාමරූපයන් ඇතිවීම දනිත්ද, නාමරූපයන් නැතිවීම දනිත්ද, නාමරූපයන් නැති කරන මාර්ගය දනිත්ද, විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණය ඇතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනිත්ද, සංස්කාරයන් දනිත්ද, සංස්කාරයන් ඇතිවීම දනිත්ද, සංස්කාරයන් නැතිවීම දනිත්ද, සංස්කාරයන් නැතිකරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ ඵලයද, බ්‍රාහ්මණ භාවයේ ඵලයද මේ ආත්මයෙහිම තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්.

(ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)