සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
5. ගහපති වර්ගය
10. ආර්යශ්‍රාවක සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාහට මෙසේ අදහස් නොවෙයි. කිමෙක්ද? කුමක් ඇති කල කුමක් වෙයිද, කිමෙක් ඉපදීමෙන් කුමක් උපදියිද, කුමක් ඇති කල සංස්කාරයෝ ඇති වෙත්ද, කුමක් ඇති කල විඤ්ඤාණය ඇති වේද, කුමක් ඇති කල නාමරූප ඇතිවේද, කුමක් ඇති කල සළායතන ඇතිවේද, කුමක් ඇති කල ස්පර්ශය ඇතිවේද, කුමක් ඇති කල වේදනාව ඇතිවේද, කුමක් ඇති කල තණ්හාව ඇතිවේද, කුමක් ඇති කල උපාදානය ඇතිවේද, කුමක් ඇති කල භවය ඇතිවේද, කුමක් ඇති කල ජාතිය ඇතිවේද? කුමක් ඇති කල ජරා මරණය ඇතිවේද කියායි.
“මහණෙනි, ඉක්බිති ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්යශ්‍රාවකයාහට මෙහිදී ස්වකීය ඤාණය ඇතිවෙයි. මේ අවිජ්ජාව ඇති කල සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාර ඇති කල විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය ඇති කල නාමරූප ඇතිවෙයි. නාමරූප ඇති කල සළායතන ඇති වෙයි. සළායතන ඇති කල ස්පර්ශය ඇතිවෙයි. ස්පර්ශය ඇති කල වේදනාව ඇතිවෙයි. වේදනාව ඇති කල තණ්හාව ඇති වෙයි. තණ්හාව ඇති කල උපාදානය ඇතිවෙයි. උපාදානය ඇති කල භවය ඇතිවෙයි. භවය ඇති කල ජාතිය ඇතිවෙයි. ජාතිය ඇති කල ජරා මරණය ඇතිවෙයි කියායි. මෙසේ මේ ලෝකය ඇතිවේයයි ඒ ආර්යශ්‍රාවකතෙම දැනගනියි.
“මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාහට මෙසේ අදහස් නොවෙයි. කිමෙක්ද? කුමක් නැති කල කුමක් නැතිවේද, කුමක් නැතිකිරීමෙන් කුමක් නැතිවේද, කුමක් නැති කල සංස්කාරයෝ ඇති නොවෙත්ද, කුමක් නැති කල විඤ්ඤාණය ඇති නොවේද, කුමක් නැති කල නාමරූප ඇති නොවේද, කුමක් නැති කල සළායතන ඇති නොවේද, කුමක් නැති කල ස්පර්ශය ඇති නොවේද, කුමක් නැති කල වේදනාව ඇති නොවේද, කුමක් නැති කල තණ්හාව ඇති නොවේද, කුමක් නැති කල උපාදානය ඇති නොවේද, කුමක් නැති කල භවය ඇති නොවේද, කුමක් නැති කල ජාතිය ඇති නොවේද, කුමක් නැති කල ජරා මරණය ඇති නොවේද කියායි.
“මහණෙනි, මෙහිදී ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාහට ස්වකීය ඤාණය ඇතිවේ. (කෙසේද?) මේ අවිජ්ජාව නැති කල සංස්කාරයෝ ඇති නොවෙති. සංස්කාරයන් නැති කල විඤ්ඤාණය ඇති නොවේ. විඤ්ඤාණය නැති කල නාමරූප ඇති නොවේ. නාමරූප නැති කල සළායතන ඇති නොවේ. සළායතන නැති කල ස්පර්ශය ඇති නොවේ. ස්පර්ශය නැති කල වේදනාව ඇති නොවේ. වේදනාව නැති කල තණ්හාව ඇති නොවේ. තණ්හාව නැති කල උපාදානය ඇති නොවේ. උපාදානය නැති කල භවය ඇති නොවේ. භවය නැති කල ජාතිය ඇති නොවේ. ජාතිය නැති කල ජරා මරණය ඇති නොවේය කියායි. මෙසේ මේ ලෝකය නැතිවේයයි ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ දැනගනියි.
“මහණෙනි, යම් කලක වනාහි ආර්යශ්‍රාවකතෙම මෙසේ ලෝකයෙහි ඇතිවීමත්, නැතිවීමත් ඇති සේ දැනගනියිද, මහණෙනි, මේ ආර්යශ්‍රාවකතෙම මාර්ග දෘෂ්ටියෙන් යුක්තවූයේ යයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්තවූයේයයි කියාද, මේ මාර්ග සද්ධර්මයට පැමිණියේයයි කියාද, මේ මාර්ග සද්ධර්මය දකීයයි කියාද, ශෛක්ෂඥානයෙන් යුක්තයයි කියාද ශෛක්ෂ විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම් ධර්මශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේ යයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.”
(දසවන ආර්යශ්‍රාවක සූත්‍රය නිමි.)
පස්වන ගහපති වර්ගයයි.
පඤ්චවේරභය සූත්‍ර දෙකය, දුක්ඛ සූත්‍රය, ලෝක සූත්‍රය, ඤාතික සූත්‍රය, අඤ්ඤතර සූත්‍රය, ජාණුස්සෝණි සූත්‍රය, ලෝකායතික සූත්‍රය සහ ආර්යශ්‍රාවක සූත්‍ර දෙකදැයි මේ වර්ගයෙහි සූත්‍ර දහයකි.