සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

4. චතු ධාතු වර්ගය

9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, මේ ධාතු සතර දෙනෙකි. (ඒ) සතර දෙන කවරේද? පඨවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව සහ වායෝ ධාතුවයි. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ සතර ධාතුන්ගේ ඇතිවීමද, නැතිවීමද, අස්සාදයද, ආදීනවයද, නිස්සරණයද ඇතිසේ නොදනිත්ද,” “මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණ භාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්ම භාවයෙහීදීම තෙමේ දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ සතර ධාතූන්ගේ අස්සාදයද, ආදීනවද, නිස්සරණයද ඇතිසේ දනිත්ද, මහණෙනි, යම් මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණ භාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මයෙහීදීම තෙමේ දැන, ප්‍රත්‍යක්ෂ කොට, ඊට පැමිණ, වාසය කෙරෙති.”

(නවවෙනි සමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)