සංයුත්තනිකායො
නිදාන වර්ගය
8. ලක්ඛණ සංයුත්තය
2. දෙවැනි වර්ගය
1. කූප සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසයකරනසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද, ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන් හට මෙය කීයේය. “ආයුෂ්මත් මොග්ගගල්ලානයෙනි, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත්, ලක්ඛණය, මේ ප්‍රශ්නයට (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්‍රශ්නය මාගෙන් අසවයි’ කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින්පසු (සවස) පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියාහුය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය, එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. “ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්වහන්සේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඇවැත් මොග්ගල්ලානයෙනි, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“ඇවැත්නි, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අසූචි වලක හිස සහිතව ගිලුනාවූ, පුරුෂයෙකු (ප්‍රේතයෙකු) දැක්කෙමි. ඒ ගූථ ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඇවැත්නි ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. ‘පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද මෙබඳුවූ ආත්ම භාවයක් ලැබීමකුදු වන්නේද,’ කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්‍රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේවේද, ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහුනම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය. මහණෙනි, මේ සත්වතෙම මේ රජගහ නුවරම අන් අඹුවන් කරා යන්නෙක් විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳින්නේයයි” වදාළසේක.
(පළමුවෙනි කූප සූත්‍රය නිමි.)