සංයුත්තනිකායො

නිදාන වර්ගය

9. ඕපම්ම සංයුත්තය

9. නාග සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.

එකල්හි වනාහි එක්තරා නවක (අලුත මහණවූ) භික්ෂුවක් බොහෝ වේලා කුලයන් කරා පැමිණ වාසය කරයි. ඒ මේ නවක මහණහට සෙසු මහණහු මෙසේ කීවාහුය. “ඇවැත්තෙම, බොහෝ වේලා කුලයන් කරා පැමිණ වාසය නොකරවයි” කියායි. සෙසු මහණහුන් විසින් කියනු ලබන්නාවූ, ඒ නවක මහණතෙම මෙසේ කීයේය. “මේ ස්ථවිර භික්ෂූහුද කුලයන් කරා පැමිණිය යුතුයයි හඟින්නහුය. මම වනාහි කිනම් කාරණයක් නිසා නොපැමිණෙන්නෙම්ද?” කියායි.

ඉක්බිති බොහෝ භික්ෂූහු වනාහි භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.

“ස්වාමීනි, මේ ශාසනයෙහි එක්තරා අලුත් භික්ෂුවක් බොහෝ වේලා කුලයන් කරා පැමිණෙයි. ඒ මොහුට භික්ෂූහු මෙසේ කීවාහුය. ‘ආයුෂ්මත්තෙම කුලයන් කරා බොහෝ වේලා නොපැමිණෙව’ කියායි. ඒ මහණතෙම භික්ෂූන් විසින් කියනු ලබන්නේ මෙසේ කීයේය. ‘මේ ස්ථවිර භික්ෂූහුද කුලයන් කරා පැමිණිය යුතුයයි හඟින්නාහුය. මම වනාහි කිනම් කාරණයක් නිසා නොපැමිණෙම්ද?’ කියායි.

“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. වන ප්‍රදේශයෙහි මහ විලක් විය. ඇත්තු ඒ මහ විල ආශ්‍රයකොට වාසය කෙරෙති. ඒ ඇත්තු ඒ මහ විලට බැස, සොඬින් නෙලුම් අල සහ මුල් යටින් ගෙන ඉතා පිරිසිදු වන සේ මනාකොට සෝදා, මඩ රහිතව මනාකොට කා, ගිලිති. ඒ ඇතුන්හට ඒ කෑම වර්ණය ඇතිවීම පිණිසද, බලය ඇතිවීම පිණිසද, හේතුවෙයි. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය සමාන දුකකට හෝ නොපැමිණෙත්. මහණෙනි, ඒ මහ ඇතුන් අනුවම හික්මෙන්නාවූ, ළදරුවූ, ඇත්පැටව් වෙත්ද, ඔවුහුද ඒ විලට බැස, සොඬින් නෙලුම් අල සහ මුල් යටින් ගෙන ඉතා පිරිසිදු වෙනසේ මනාකොට නොසෝදා, මඩ සහිතව නොමනා කොට කා ගිලිත්. ඒ පැටවුන්හට ඒ කෑම වර්ණය ඇතිවීම පිණිසද බලය ඇතිවීම පිණිසද හේතු නොවෙයි. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය සමාන දුකකට හෝ පැමිණෙත්.

“මහණෙනි එසේම වනාහි මේ ශාසනයෙහි ස්ථවිර භික්ෂූහු පෙරවරු (උදේ) කාලයෙහි (අඳනය) හැඳ පාත්‍ර සිවුරු ගෙන, ගමකට හෝ නියම්ගමකට හෝ පිඬුපිණිස වඩිත්. ඒ භික්ෂූහු එහිදී දහම් දෙසත්. ඔවුන්හට ගිහියෝ ප්‍රසන්නාකාර කෙරෙත්. (සිව්පස දෙත්.) ඒ භික්ෂූහු ඒ සිව්පස ලාභයෙහි නොඇලුනාහු, මුළා නොවූවාහු, ගැති නොවූවාහු, ආදීනව දකින්නාහු, සසරින් ගැලවෙන නුවණ ඇත්තාහු, පරිභෝග කෙරෙත්. එය ඒ මහණුන්ගේ වර්ණය පිණිසද, බලය පිණිසද හේතුවෙයි. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය සමාන දුකකට හෝ නොපැමිණෙත්.

“මහණෙනි, ඒ ස්ථවිර භික්ෂූන් අනුවම හික්මෙන්නාවූ නවක (අලුත්) භික්ෂූහු පෙරවරු (උදේ) කාලයෙහි (අඳනය) හැඳ, පාත්‍ර, සිවුරු ගෙන, ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසෙත්. ඒ භික්ෂූහු එහිදී දහම් දෙසත්. ඔවුන්හට ගිහියෝ ප්‍රසන්නාකාර කෙරෙත්. (සිව්පස දෙත්) ඒ භික්ෂූහු ඒ සිව්පස ලාභයෙහි ඇලුනාහු, මුළාවූවාහු, ගැතිවූවාහු, ආදීනව නොදක්නාහු, සසරින් ගැලවෙන නුවණ නැත්තාහු, පරිභෝග කෙරෙත්. එය ඒ මහණහුගේ වර්ණය පිණිසද, බලය පිණිසද හේතු නොවෙයි. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය සමාන දුකකට හෝ පැමිණෙත්.”

“මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘නොඇලී, මුළානොවී, ගැතිනොවී, ආදීනව (දොස්) දකින්නාහු, සසරින් ගැලවෙන නුවණ ඇත්තාහු, සිව්පස ලාභය පරිභෝග කරන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(නවවෙනි නාග සූත්‍රය නිමි.)