සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
2. රාධ සංයුත්තය
1. පළමුවෙනි වර්ගය
4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේට මෙසේ වදාළසේක.
“රාධය, පිරිසිඳ දැනගත යුතුවූ පිරිසිඳ දැන ගැනීමද, පිරිසිඳ දැනගත් පුද්ගලයාද දේශනා කරන්නෙමි. “මහණෙනි, එසේ නම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමැයි කීය. ස්වාමීනි, එසේයයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක;
“රාධය, පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයෝ කවරහුද? රාධය රූපය පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයෙකි. වේදනාව පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයකි. සඤ්ඤාව පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයකි. සංස්කාරයෝ පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයකි. විඤ්ඤාණය පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයකි. රාධය, මේ පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයෝ යයි කියනු ලැබෙත්.
“රාධය, පිරිසිඳ දැනගැනීම කවරේද? රාධය, යම් රාගය ක්ෂය කිරීමක් යම් ද්වේෂය ක්ෂය කිරීමක් යම් මොහය ක්ෂය කිරීමක් වෙයිද රාධය, මේ පිරිසිඳ දැනගැනීම යයි කියනු ලැබේ.
“පිරිසිඳ දැනගත් පුද්ගලයා කවරේද? ඔහුට අර්හත් පුද්ගලයායයි කියයුතු වන්නේය. යම් ආයුෂ්මතෙක් මෙවැනි නම් ඇත්තේ මෙවැනි ගෝත්‍ර ඇත්තේ වේද, රාධය, මේ තෙම පිරිසිඳ දැනගත් පුද්ගලයායයි කියනු ලැබේ.”
(හතරවෙනි පරිඤ්ඤෙය්‍ය සූත්‍රය නිමි.)