සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
1. සොයෙව පෙය්‍යාල වර්ගය
12. අනන්තවා සූත්‍රය
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි වනාහි, කුමක් නිසා, කුමකට පැමිණ ලෝකය කෙළවරක් නැත්තේය, යන මේ දෘෂ්ටිය උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරණසේක්නම් මැනවි.”
“මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.
“ස්වාමීනි. එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇතිකල්හි, රූපය නිසා. රුපයට බැසගෙන ලෝකය කෙළවරක් නැත්තේය යන මේ දෘෂ්ටිය උපදියි.
“වේදනාව ඇතිකල්හි, වේදනාව නිසා, වේදනාවට බැසගෙන ලෝකය කෙළවරක් නැත්තේය යන මේ දෘෂ්ටිය උපදියි.
“සංඥාව ඇතිකල්හි, සංඥාව නිසා, සංඥාවට බැසගෙන ලෝකය කෙළවරක් නැත්තේය යන මේ දෘෂ්ටිය උපදියි.
“සංස්කාරය ඇතිකල්හි, සංස්කාරය නිසා, සංස්කාරයට බැසගෙන ලෝකය කෙළවරක් නැත්තේය යන මේ දෘෂ්ටිය උපදියි.
“විඤ්ඤාණය ඇතිකල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට බැසගෙන ලෝකය කෙළවරක් නැත්තේය යන මේ දෘෂ්ටිය උපදියි.
[4] “මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි. දුකයි.”
“යමක් වනාහි අනිත්‍යයද දුකද, වෙනස්වන ස්වභාවද, එය, දැඩිලෙස නොගෙන ‘ලෝකය කෙළවරක් නැත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘ලෝකය කෙළවරක් නැත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි. එය නොවන්නේමය.”
“සංඥාව නිත්‍ය හෝ අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, එය වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘ලෝකය කෙළවරක් නැත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍යය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘ලෝකය කෙළවරක් නැත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“විඥානය නිත්‍ය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘ලෝකය කෙළවරක් නැත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
[5] “දක්නාලද අසනලද නාසය, දිව, කය යන තුනෙන් දැනගන්නාලද සිතින් දන්නාලද, පැමිණෙනලද, සොයන ලද, විමසනලද යම් ඒ දෙයක් වේද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“එය දැඩිලෙස නොගෙන ‘ලෝකය කෙළවරක් නැත්තේය. යන දෘෂ්ටි උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
[6] “මහණෙනි, යම් තැනක පටන් ආර්යශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක්ඛයෙහිද, සැක දුරුවූයේ වෙයි. දුක්ඛ සමුදයෙහිද, සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරොධයෙහිද, සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරොධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යයෙහිද සැක දුරුවූයේ වෙයි.
“මහණෙනි. මේ ආර්ය ශ්‍රාවකතෙමේ සොතාපන්න යෙකැයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද, නියත ගති ඇත්තෙකැයිද, අර්හත්ඵල පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.
(දොළොස්වෙනි අනන්තවා සූත්‍රය නිමි.)