සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

3. දිට්ඨි සංයුත්තය

1. සොයෙව පෙය්‍යාල වර්ගය

16. තථාගත සූත්‍රය (2)

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි’යි කියා භික්ෂූන්ට කථාකළ සේක. ‘ස්වාමීනි’යි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි, කුමක් නිසා, කුමකට පැමිණ ‘සත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදීද?”

“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන සේක්නම් මැනවි.”

“මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.

“ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

[3] “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේය. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි. සංඥාව ඇතිකල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි. සංස්කාර ඇතිකල්හි සංස්කාර නිසා සංස්කාරයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි. විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි.

[4] “මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකයි.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද? එය දැඩිලෙස අල්වා නොගෙන සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය,”

“වේදනාව නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද? එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද, දුකද වෙනස්වන ස්වභාවද? ඒ දැඩිකොට අල්වා නොගෙන ‘සත්ත්ව තෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”

“සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යනම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය දැඩි කොට අල්වා නොගෙන ‘සත්ත්ව තෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”

“සංස්කාරයෝ නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යනම්, එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘සත්ත්ව තෙම මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”

“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද එය දැඩිකොට අල්වා නොගෙන ‘සත්ත්ව තෙම මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි. එය නොවන්නේමය.”

[5] “දක්නාලද අසනලද නාසය දිව කය යන තුනෙන් දන්නාලද දැනගන්නාලද සිතින් පැමිණෙන ලද, සොයන ලද විමසන ලද යම් ඒ දෙයක්වේද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘සත්ත්ව තෙම මරණින් මතු නොවන්නේය.’ යන මේ දෘෂ්ටි උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”

[6] “මහණෙනි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකයාහට මේ සයවැදෑරුම් කරුණෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධය පිළිබඳවද සැකදුරු වූයේ වෙයි. දුක්ඛනිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරු වූයේ වෙයි. මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝවාන් වූවෙකැයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිට කොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”

(දහසයවෙනි තථාගත සූත්‍රය (2) නිමි.)