සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

3. දිට්ඨි සංයුත්තය

1. සොයෙව පෙය්‍යාල වර්ගය

2. ඒතං මම සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයය, යන දෘෂ්ටිය උපදීද?” - “ස්වාමීනි අපගේ දහම් භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. මේ කීමේ අදහස කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා අර්ථය භික්ෂූහු දැනගත්තාහුය.”

“මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.

“ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

[3] “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘මෙය මගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි, යන දෘෂ්ටිය උපදියි. වේදනාව ඇතිකල්හි, වේදනාව නිසා, වේදනාවට පැමිණ ‘මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ යන මේ දෘෂ්ටිය උපදියි. සංඥාව ඇතිකල්හි සංඥාව නිසා, සංඥාවට පැමිණ ‘මෙය මගේය මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ යන මේ දෘෂ්ටිය උපදියි. සංස්කාරයන් ඇතිකල්හි, සංස්කාරයන් නිසා. සංස්කාරයන්ට පැමිණ මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ යන දෘෂ්ටිය උපදියි. විඤ්ඤාණය ඇතිකල්හි විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පැමිණ මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි යන දෘෂ්ටිය උපදියි.

[4] “මහණෙනි, ඒ කුමකැයි හඟින්නහුද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකයි.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද? එය අල්වා නොගෙන ‘මෙය මගේය. මෙය මම වෙමි, මේ මාගේ ආත්මයයි’ යන දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එසේ නොවන්නේමය.”

“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද දුකද, වෙනස්වන ස්වභාවද, එය, අල්වා නොගෙන ‘මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ යන දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එසේ නොවන්නේමය.”

“සංඥාව නිත්‍ය හෝ අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද? - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද දුකද එය වෙනස්වන ස්වභාවද, එය අල්වානොගෙන ‘මෙය මාගේය. මේ මම වෙමි මේ මාගේ ආත්මයයි’ යන දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එසේ නොවන්නේමය.”

“සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද දුකද, වෙනස්වන ස්වභාවද, එය අල්වා නොගෙන ‘මෙය මාගේය. මෙය මම වෙමි. මේ මාගේ ආත්මයයි’ යන දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එසේ නොවන්නේමය.”

“විඥාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යයද, දුකද වෙනස්වන ස්වභාවද, එය අල්වා නොගෙන ‘මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි’ යන දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එසේ නොවන්නේමය.”

[5] “ඇසින් දක්නාලද කණින් අසනලද නාසය දිව කය යන තුනෙන් දන්නාලද සිතින් පැමිණෙන ලද, සොයන ලද විමසන ලද යම් ඒ දෙයක්වේද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි අනිත්‍යය.”

“යමක් අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද වෙනස්වෙන ස්වභාවද, එය අල්වා නොගෙන ‘මෙය මාගේය, මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එසේ නොවන්නේමය,”

[6] “මහණෙනි, යම්තැනක පටන් ආර්යශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක්ඛයෙහිද සැකදුරුවූයේ වෙයි, දුක්ඛ සමුදයෙහිද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධයෙහිද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවෙහිද සැක දුරුවූයේ වෙයි.

“මහණෙනි, මේ ආර්යශ්‍රාවක තෙමේ සෝවාන් මගපලට පැමිණියෙකැයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද නියත ගති ඇත්තෙකැයිද අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”

(දෙවෙනි එතං මම සූත්‍රය නිමි.)