සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
4. ඔක්කන්ත සංයුත්තකය
10. ඛන්ධ සූත්‍රය
(මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූපය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය, සඤ්ඤාව අනිත්‍යය පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය, සංස්කාරයෝ අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. විඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට මිදෙයිද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලයට නොපැමිණියේද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.
“මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ මෙසේ ප්‍රඥාව කරණකොට ගෙන ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙත්ද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයායි කියනු ලැබේ.
“හෙතෙම යම් කර්මයක්කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලයට නොපැමිණේද ඒතාක් කළුරිය කිරීමට නුදුසුසු වෙයි.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියිද, දකියිද හෙතෙමේ අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
ඔක්කන්තසංයුත්තං
(ඔක්කන්තිකසංයුත්තං (පී. ක.)) සමත්තං.
චක්ඛු සූත්‍රය, රූප සූත්‍රය, විඤ්ඤාණ සූත්‍රය, ඵස්ස සූත්‍රය, වේදනා සූත්‍රය, සඤ්ඤා සූත්‍රය, චෙතනා සූත්‍රය, තණ්හා සූත්‍රය, ධාතු සූත්‍රය සහ ඛන්ධ සූත්‍රය දැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයක් වෙත්.