සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
4. ඔක්කන්ත සංයුත්තකය
4. ඵස්ස සූත්‍රය
(මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“මහණෙනි, චක්ඛුසම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. සොතසම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ඝානසම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ජිව්හා සම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. කාය සම්ඵස්සය අනිත්‍යය පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. මනො සම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය.
“මහණෙනි. යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ.
හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේතලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසුවෙයි.
“මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ගඵලයට නොපැමිණෙයිද, ඒතාක් කලුරිය කිරීමට නුසුදුසු වෙයි.
“මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද දකියිද හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”