සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

12. ලොකකාමගුණ වර්‍ගය

2. මාරපාස සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

’’මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ වෙත්. ඉදින් භික්‍ෂුතෙම එයට කැමතිවෙයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම චකඛු විඤඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි බැඳුනේ, මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට ගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් වේයයි කියනු ලැබේ.

’’මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. ඉදින් භික්‍ෂුතෙම එයට කැමතිවෙයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි බැඳුනේ, මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට ගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් වේයයි කියනු ලැබේ.

’’මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ වෙත්. ඉදින් භික්‍ෂුතෙම එයට කැමතිවෙයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම ඝාණ විඤඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි බැඳුනේ, මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට ගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් වේයයි කියනු ලැබේ.

’’මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. ඉදින් භික්‍ෂුතෙම එයට කැමතිවෙයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම ජිව්හා විඤඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි බැඳුනේ, මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට ගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් වේයයි කියනු ලැබේ.

’’මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ වෙත්. ඉදින් භික්‍ෂුතෙම එයට කැමතිවෙයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි බැඳුනේ, මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට ගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් වේයයි කියනු ලැබේ.

’’මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ වෙත්. ඉදින් භික්‍ෂුතෙම එයට කැමතිවෙයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී

සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මනෝ විඤඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි බැඳුනේ, මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට ගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් වේයයි කියනු ලැබේ.

’’මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට කැමති නොවෙයිද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන්ගෙන් මිදුනේ, මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් නොවේයයි කියනු ලැබේ.

’’මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට කැමති නොවෙයිද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන්ගෙන් මිදුනේ, මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් නොවේයයි කියනු ලැබේ.

’’මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට කැමති නොවෙයිද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන්ගෙන් මිදුනේ, මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් නොවේයයි කියනු ලැබේ.

’’මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට කැමති නොවෙයිද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන්ගෙන් මිදුනේ, මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් නොවේයයි කියනු ලැබේ.

’’මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට කැමති නොවෙයිද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන්ගෙන් මිදුනේ, මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් නොවේයයි කියනු ලැබේ.

’’මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එයට කැමති නොවෙයිද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන්ගෙන් මිදුනේ, මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොගියේ, මරුවා විසින් කැමැති දෙයක් කළයුත්තෙක් නොවේයයි කියනු ලැබේයයි , (වදාළ සේක.)