සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
2. යමක වර්‍ගය
1. සම්බෝධ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, සම්බෝධියෙන් පෙරම සම්‍යක් සම්බුද්‍ධ නොවූ, බොධිසත්ත්‍වවූම මට මෙබඳු අදහසක් විය. ’චක්‍ෂුසයාගේ (ඇසෙහි) ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ (බැහැරවීම) කුමක්ද? ශ්‍රොතයාගේ (කණේ) ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ කවරේද? ඝ්‍රාණයාගේ (නාසයෙහි) ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ කවරේද? දිවෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? කයේ ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ කවරේද? චිත්තයාගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද කියායි.
’’මහණෙනි, ඒ මට මේ අදහස් විය. ’’ඇස නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ඇසේ ආශ්වාදය වේ. යම් ඇසක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ ඇසේ ආදීනවය වේ. ඇසෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය ඇසේ නිස්සරණයයි.’’ ’’කණ නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ කණේ ආශ්වාදය වේ. යම් කණක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ කණේ ආදීනවය වේ. කණෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය කණේ නිස්සරණයයි.’’ ’’නාසය නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ නාසයේ ආශ්වාදය වේ. යම් නාසසක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ නාසයේ ආදීනවය වේ. නාසයෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය නාසයේ නිස්සරණයයි.’’ ’’දිව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ දිව පිළිබඳ ආශ්වාදය වේ. යම් දිවක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ දිව පිළිබඳ ආදීනවයයි. දිව පිළිබඳ යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය දිව පිළිබඳ නිස්සරණයයි.’’ ’’කය නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ කයේ ආශ්වාදය වේ. යම් කයක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ කයේ ආදීනවය වේ. කයේ යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය කයේ නිස්සරණයයි.’’ ’’සිත නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ සිත පිළිබඳ ආශ්වාදයයි. යම් සිතක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ සිත පිළිබඳ ආදීනවයයි. සිතෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය සිත පිළිබඳ නිස්සරණය වේ.’’
’’මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම්වූ, අධ්‍යත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාව දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒතාක්ම මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ නොකෙළෙමි.
’’මහණෙනි, යම් කලක පටන් මම මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි. මට වනාහි මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය. ඥාන දර්‍ශනය පහළවිය.’’