සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

15. නවපුරාණ වර්‍ගය

2. සපපාය සූත්‍රය. (1)

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?

’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇස අනිත්‍යයයි දකීද, රූපයෝ අනිත්‍යයයි දකීද, චක්‍ඛු විඤඤාණය අනිත්‍යයයි දකීද, චක්‍ඛු සම්ඵසසය අනිත්‍යයයි දකීද, චක්‍ඛු සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?

’’කණ අනිත්‍යයයි දකීද, ශබ්දයෝ අනිත්‍යයයි දකීද, සෝත විඤඤාණය අනිත්‍යයයි දකීද, සෝත සම්ඵසසය අනිත්‍යයයි දකීද, සෝත සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?

’’නාසය අනිත්‍යයයි දකීද, ගන්‍ධයෝ අනිත්‍යයයි දකීද, ඝාණ විඤඤාණය අනිත්‍යයයි දකීද, ඝාණ සම්ඵසසය අනිත්‍යයයි දකීද, ඝාණ සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?

’’දිව අනිත්‍යයයි දකීද, රසයෝ අනිත්‍යයයි දකීද, ජිව්හා විඤඤාණය අනිත්‍යයයි දකීද, ජිව්හා සම්ඵසසය අනිත්‍යයයි දකීද, ජිව්හා සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?

’’කය අනිත්‍යයයි දකීද, ස්පර්‍ශයෝ අනිත්‍යයයි දකීද, කාය විඤඤාණය අනිත්‍යයයි දකීද, කාය සම්ඵසසය අනිත්‍ය යයි දකීද, කාය සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?

’’සිත අනිත්‍යයයි දකීද, ධර්‍මයෝ අනිත්‍යයයි දකීද, මනොවිඤඤාණය අනිත්‍යයයි දකීද, මනොසම්ඵසසය අනිත්‍යයයි දකීද, මනොසම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?

’’මහණෙනි, මේ වනාහි ඒ නිවණට උපකාරවූ ප්‍රතිපදාව වේයයි, වදාළේය.