සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

15. නවපුරාණ වර්‍ගය

7. කිමත්‍ථික සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයෝ ඉදින් තොපගෙන් මෙසේ අසන්නාහු නම්, ‘ ඇවැත්නි, කුමක් පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේද’ මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය. ‘ ඇවැත්නි, දුකඛයාගේ පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වසන්නේය’ කියායි.

මහණෙනි, ඉදින් වනාහි තොපගෙන් අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයෝ මෙසේ අසන්නාහු නම්, ‘ ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේද? ඒ දුකනම් කවරේදැයි, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය.

’’ඇවැත්නි, ඇස වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. රූපයෝ දුක්යහ. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. චක්ඛු විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. චක්ඛු සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. චකඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද එයද දුක් වේ.

’’ඇවැත්නි, කණ වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. ශබ්දයෝ දුක්යහ. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. සෝත විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. සෝත සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද එයද දුක් වේ.

’’ඇවැත්නි, නාසය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. ගන්‍ධයෝ දුක්යහ. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. ඝාණ විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. ඝාණ සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද එයද දුක් වේ.

’’ඇවැත්නි, දිව වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. රසයෝ දුක්යහ. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. ජිව්හා විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. ජිව්හා සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද එයද දුක් වේ.

’’ඇවැත්නි, කය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. ස්පර්‍ශයෝ දුක්යහ. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. කාය විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. කාය සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද එයද දුක් වේ.

’’ඇවැත්නි, සිත වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. ධර්‍මයෝ දුක්යහ. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. මනෝ විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. මනෝ සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද එයද දුක් වේ. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය.’ මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුයයි, වදාළ සේක.