සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

3. සබ්බ වර්‍ගය

5. පරිජාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල මනාව නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට නුසුදුසුවේ. මහණෙනි, කවර නම් සියල්ලක් මනාව නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, මාර්‍ගයෙන් පහනොකරන්නේ, දුක් නැසීමට නුසුදුසු වේද?’’

’’මහණෙනි, යම් ඇසකුත් වේද, යම් රූපයෝත් වෙත්ද, යම් චක්ඛු විඤ්ඤාණයකුත් වේද, යම් චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් කණකුත් වේද, යම් ශබ්දයෝත් වෙත්ද, යම් සෝතවිඤ්ඤාණයකුත් වේද, යම් සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් නාසයකුත් වේද, යම් ගන්‍ධයෝත් වෙත්ද, යම් ඝාණ විඤ්ඤාණයකුත් වේද, යම් ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් දිවකුත් වේද, යම් රසයෝත් වෙත්ද, යම් ජිව්හා විඤ්ඤාණයකුත් වේද, යම් ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් කයකුත් වේද, යම් ස්පර්‍ශයෝත් වෙත්ද, යම් කාය විඤ්ඤාණයකුත් වේද, යම් කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් සිතකුත් වේද, යම් ධර්‍මයෝත් වෙත්ද, යම් මනො විඤ්ඤාණයකුත් වේද, යම් මනො විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, මහණෙනි, මේ සියල්ල වනාහි මනාව නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, මාර්‍ගයෙන් පහ නොකරන්නේ, දුක් නැසීමට නුසුදුසු වේ.

’’මහණෙනි, සියල්ල වනාහි මනාව දන්නේ, පිරිසිඳ දන්නේ, මාර්‍ගයෙන් පහකරන්නේ, දුක් නැසීමට සුදුසු වේ. මහණෙනි, කවර නම් සියල්ලක් මනාව දන්නේ, පිරිසිඳ දන්නේ, මාර්‍ගයෙන් පහ නොකරන්නේ, දුක් නැසීමට සුදුසු වේද, මහණෙනි, යම් ඇසකුත් වේද, යම් රූපයෝත් වෙත්ද, යම් චක්ඛු විඤ්ඤාණයකුත් වේද, යම් චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් කණකුත් වේද, යම් ශබ්දයෝත් වෙත්ද, යම් සෝතවිඤ්ඤාණයකුත් වේද, යම් සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් නාසයකුත් වේද, යම් ගන්‍ධයෝත් වෙත්ද, යම් ඝාණ විඤ්ඤාණයකුත් වේද, යම් ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් දිවකුත් වේද, යම් රසයෝත් වෙත්ද, යම් ජිව්හා විඤ්ඤාණයකුත් වේද, යම් ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් කයකුත් වේද, යම් ස්පර්‍ශයෝත් වෙත්ද, යම් කාය විඤ්ඤාණයකුත් වේද, යම් කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් සිතකුත් වේද, යම් ධර්‍මයෝත් වෙත්ද, යම් මනො විඤ්ඤාණයකුත් වේද, යම් මනො විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, මහණෙනි, මේ සියල්ල වනාහි මනාව දන්නේ, පිරිසිඳ දන්නේ, මාර්‍ගයෙන් පහ කරන්නේ, දුක් නැසීමට සුදුසු වේය’’ යි (වදාළ සේක.)