සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
3. සබ්බ වර්‍ගය
7. අන්‍ධභූත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර, කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ’’මහණෙනි, සියල්ල මඩනා ලද්දේ වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් මඩනා ලද්දේ වේද?
’’මහණෙනි, ඇස මඩනා ලද්දේ වෙයි. රූපයෝ මඩනා ලද්දාහ. චක්ඛු විඤ්ඤාණය මඩනා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශොකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.
’’මහණෙනි, කණ මඩනා ලද්දේ වෙයි. ශබ්දයෝ මඩනා ලද්දාහ. සොතවිඤ්ඤාණය මඩනා ලද්දේ වෙයි. සොතසම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. සොතසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශොකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.
’’මහණෙනි, නාසය මඩනා ලද්දේ වෙයි. ගන්‍ධයෝ මඩනා ලද්දාහ. ඝාණවිඤ්ඤාණය මඩනා ලද්දේ වෙයි. ඝාණසම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. ඝාණසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශොකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.
’’මහණෙනි, දිව මඩනා ලද්දේ වෙයි. රසයෝ මඩනා ලද්දාහ. ජිව්හා විඤ්ඤාණය මඩනා ලද්දේය. ජිව්හා සම්ඵස්සය මඩනා ලද් දේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශොකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.
’’මහණෙනි, කය මඩනා ලද්දේ වෙයි. ස්පර්‍ශයෝ මඩනා ලද්දාහ. කාය විඤ්ඤාණය මඩනා ලද්දේ වෙයි. කාය සම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශොකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.
’’මහණෙනි, සිත මඩනා ලද්දේ වෙයි. ධර්‍මයෝ මඩනා ලද්දාහ. මනො විඤ්ඤාණය මඩනා ලද්දේය. මනො සම්ඵස්සය මඩනා ලද්දේය. මනො සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශොකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.
’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සොත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සොත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනො විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනො සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනො සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුකද නොවූ, සැපද නොවූ යම් මේ වේදනාවක් උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුනේය යන දැනුම ඇතිවේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය’’ යි (වදාළ සේක.)