සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
9. ඡන්න වර්‍ගය
5. පුණ්ණ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකළාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්‍මයක් සැකෙවින් දේශනා කරණ සේක්නම් මැනවැයි, යනුයි.
’’පුණ්ණය, ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම ඒ රූපයෙහි ඇලේද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ එය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි. ,පුණ්ණය, කණින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම ඒ ශබ්දයෙහි ඇලේද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ එය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.
’’පුණ්ණය, නාසයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම ඒ ගන්‍ධයෙහි ඇලේද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ එය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.
’’පුණ්ණය, දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම ඒ රසයෙහි ඇලේද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ එය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.
’’පුණ්ණය, කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම ඒ ස්පර්‍ශයෙහි ඇලේද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ එය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.
’’පුණ්ණය, මනසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම ඒ ධර්‍මයෙහි ඇලේද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ එය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.
’’පුණ්ණය, ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, සතුටු වචන නොකියාද, එහි නොගිලෙයිද, එහි නොඇලෙන්නාවූ සතුටු වචන නොකියන්නාවූ එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුඬවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුඬවිමෙන් දුක්ඛ නිරෝධය වේයයි කියමි.
’’පුණ්ණය, කණින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලෙයිද, සතුටු වචන නොකියාද, එහි නොගිලෙයිද, එහි නොඇලෙන්නාවූ සතුටු වචන නොකියන්නාවූ එහි නොගිලෙන්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුඬවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුඬවිමෙන් දුක්ඛ නිරෝධය වේයයි කියමි.
’’පුණ්ණය, නාසයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලෙයිද, සතුටු වචන නොකියාද, එහි නොගිලෙයිද, එහි නොඇලෙන්නාවූ සතුටු වචන නොකියන්නාවූ එහි නොගිලෙන්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුඬවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුඬවිමෙන් දුකඛ නිරෝධය වේයයි කියමි.
’’පුණ්ණය, දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලෙයිද, සතුටු වචන නොකියාද, එහි නොගිලෙයිද, එහි නොඇලෙන්නාවූ සතුටු වචන නොකියන්නාවූ එහි නොගිලෙන්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුඬවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුඬවිමෙන් දුකඛ නිරෝධය වේයයි කියමි. ,පුණ්ණය, කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, සතුටු වචන නොකියාද, එහි නොගිලෙයිද, එහි නොඇලෙන්නාවූ සතුටු වචන නොකියන්නාවූ එහි නොගිලෙන්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුඬවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුඬවීමෙන් දුකඛ නිරෝධය වේයයි කියමි.
’’පුණ්ණය, සිතින් දැනගතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවතින්නාවූ ඇළුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, සතුටු වචන නොකියාද, එහි නොගිලෙයිද, එහි නොඇලෙන්නාවූ සතුටු වචන නොකියන්නාවූ එහි නොගිලෙන්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුඬවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුඬවීමෙන් දුකඛ නිරෝධය වේයයි කියමි.
’’පුණ්ණය, මා විසින් මේ සංක්‍ෂිප්තවූ අවවාදයෙන් අවවාද කරණලද්දාවූ නුඹ කවරනම් ජනපදයෙක්හි වාසය කරන්නෙහිද?
’’ස්වාමීනි, සුනාපරන්ත නම් ජනපදයෙක් ඇත්තේය. මම එහි වාසය කරන්නෙමි.,
’’පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්සු නපුරුය. පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්සු කෲරය. පුණ්ණය, ඉදින් තොපට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්‍රොශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම්, පුණ්ණය, එහි තොපට කුමක් වන්නේද?,
’’ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්‍රොශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඉතා යහපත්ය. මොව්හු යම් හෙයකින් මට අතින් පහර නොදෙත්ද, (එහෙයිනි.) භාග්‍යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි,, කීය.
’’පුණ්ණය, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහුනම්, පුණ්ණය, එහි වනාහි තොපට කෙසේ වන්නේද?’’ - ’’ ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහුනම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මට මොව්හු කැටකින් පහර නොදෙත්ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි,, කීය.
’’පුණ්ණය, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු කැටකින් පහර දෙන්නාහුනම්, පුණ්ණය, එහි වනාහි තොපට කෙසේ වන්නේද?’’ - ’’ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු කැටකින් පහර දෙන්නාහුනම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මොව්හු මට දණ්ඩෙන් පහර නොදෙත්ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි,, කීය.
’’පුණ්ණය, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු දණ්ඩෙන් පහර දෙන්නාහුනම්, පුණ්ණය, එහි වනාහි තොපට කෙසේ වන්නේද?’’ - ’’ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු දණ්ඩෙන් පහර දෙන්නාහුනම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මොව්හු මට ආයුධයෙන් පහර නොදෙත්ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි,, කීය.
’’පුණ්ණය, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු ආයුධයෙන් පහර දෙන්නාහුනම්, පුණ්ණය, එහි වනාහි තොපට කෙසේ වන්නේද?’’ - ’’ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු ආයුධයෙන් පහර දෙන්නාහුනම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මා මොහු තියුණු ආයුධයකින් ජීවිතයෙන් තොර නොකෙරෙත්ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි,, කීය.
’’පුණ්ණය, ඉදින් වනාහි නුඹ සුනාපරන්ත වැසි මිනිස්සු තියුණුවූ ආයුධයකින් ජීවිතයෙන් තොර කරන්නාහු නම්, පුණ්ණය, එහි වනාහි තොපට කෙසේ වන්නේද?’’ - ’’ස්වාමීනි, ඉදින් මා සුනාපරන්ත වැසි මිනිස්සු තියුණුවූ ආයුධයකින් ජීවිතයෙන් තොර කරන්නාහුනම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘කයටද ජීවිතයටද කළකිරීමෙන් පිළිකුල් කිරීමෙන් දිවි තොර කරන්නවුන් සොයමින් වාසය කරන්නාවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඇත්තාහ. මා විසින් නොසොයාම දිවි තොර කරන්නෙක් ලද්දේය’ කියායි. භාග්‍යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි,, කීයේය.
’’පුණ්ණය, යහපත, යහපත, පුණ්ණය, (ඉවසීමෙන් හා සංසිඳීමෙන් යුක්තවූ) නුඹට සුනාපරන්ත ජනපදයෙහි වාසය කළ හැකිය. පුණ්ණය, නුඹ යම් ගමණක් වේනම් එයට කල් දනුවයි,, (වදාළ සේක.)
ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරව දක්වා සෙනස්න තැන්පත්තොට පා සිවුරු ගෙන සුනාපරන්ත ජනපදය යම් තැනෙක්හිද, එතැන්හි චාරිකාවෙහි ගියේය. පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නේ සුනාපරන්ත ජනපදය යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එහි වනාහි ආයුෂ්මත් පුණ්ණ සථවිරයන් වහන්සේ සුනාපරන්ත ජනපදයෙහි වාසය කරන්නේය.
ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ සථවිරතෙම එම වස තුළදීම පන්සියයක් පමණ උපාසක වරුන්ට ධර්‍මාවබෝධය කරවීය. එම වස තුළදීම ත්‍රිවිද්‍යාව ප්‍රත්‍යක්‍ෂ කළේය. එම වස තුළදීම පිරිනිවන් පෑයේය.
ඉක්බිති බොහෝ වූ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නාහුය. එකත් පස්ව උන්නාවූම ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහුය. ,ස්වාමීනි, යම් මේ පුණ්ණ නම් කුලපුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂිප්තවූ අවවාදයෙන් අවවාද කරණ ලද්දේද, හෙතෙම කළුරිය කළේවෙයි. ඔහුගේ ගතිය කවරීද, පරලොව කවරේද?, කියායි.
’’මහණෙනි, පුණ්ණ නම් කුලපුත්‍රතෙම පණ්ඩිත වූයේය. සත්‍ය වචන කියනසුළු වූයේය. ලෝකොත්තර ධර්‍මයට අනුකූල වූයේය. ධර්‍මාවබෝධය කරණකොට මට වෙහෙස නොකෙළේය. මහණෙනි, පුණ්ණ නම් කුලපුත්‍රතෙම පිරිනිවියේයයි,, (වදාළ සේක.)